Apr 03, 2022

මහින්ද අගමැතිකම අතහරියි; නව අගමැති ඩලස්?; විමල්ලත් ආණ්ඩුවට

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්වීමට තීන්දු කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වන බව ජනාධිපතිවරයාට මේවන විට ලිඛිතව දැනුම් දී ඇති බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඔවුන් එසේ ඉවත්වන බව පවසා ඇත්තේ ඉදිරි සතියේදී සර්වපාක්ෂික ආණ්ඩුවක් ස්ථාපනය කිරීමට ජනපතිවරයා කටයුතු නොකළහොත් බවද පැවසේ.

අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමට අදාල ලිපිය මේවනවිට කෙටුම්පත් කරමින් සිටින බවත් එම ලිපිය අද රාත්‍රී ජනාධිපතිවරයා වෙත යොමු කරනු ඇති බවත් පැවසේ.

අගමැතිවරයා ඉල්ලා අස්වූ වහාම කැබිනට් මණ්ඩලය අහෝසිවී යනු ඇත.

අගමැතිවරයා මෙම තීන්දුව ගත් බව ආරංචි වීමත් සමග බැසිල් රාජපක්ෂ මහතා අද දහවල් ජනාධිපතිවරයාගේ මිරිහානේ පෞද්ගලික නිවසට ගොස්, අගමැතිවරයාට ඉල්ලා අස්වීමට ඉඩනොතබන ලෙසත් අනෙකුත් සියලුම රාජපක්ෂවරු ඇමතිධුර වලින් ඉවත්වීමට සුදානම් බවත් දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

කෙසේවුවද ජනාධිපතිවරයා, අගමැති මහින්ද රාජපක්ෂගේ තීන්දුව බාර ගැනීමට තීන්දු කර අති බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මේ අතර, පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ 11 අලුත් ආණ්ඩුවට සහය දැක්වීමට ද එකඟව ඇති බව පැවසේ.

ඔවුන් විසින් ඩලස් අලහප්පෙරුම මහතා නව අගමැතිවරයා ලෙස පත්කරමින් සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීම සඳහා ජ නපතිවරයාට යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, වාර්තා වේ.

කෙසේවුවද, අන්තර්වාර රජය සම්බන්ධ යෝජනාවට ජනපතිවරයාගෙන් යහපත් පතිචාර ලැබී ඇති බවද පැවසේ.

සබැඳි පුවත්
හෙට අලුත් ආණ්ඩුවක්: ඒකත් පරණ ආණ්ඩුවේ හවුලක් !

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top