May 19, 2022

මහින්ද ගෙනා චන්ද්‍රපාලව SLBC සේවකයෝ එළවාදමයි! (ඡායා)

අයථා ලෙස වැටුප් වර්ධක 10ක් ලබාගෙන ඇතැයි කියන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා එහි සේවකයන් විසින් අද (19) එළවා දමා තිබේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකබද්ධ වෘත්තීය සමිති සංධානය විසින් අද සියලු සේවකයන් සඳහා රැස්වීමක් පවත්වා අදාළ කාරණාව සම්බන්ධයෙන් හෙළිදරව් කර ඉන්පසුව සේවකයන් කැටුව ගොස් ඔහුගේ කාර්යාලය වටලා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ පන්නා දමා ඇතැයි පැවසේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් (පාලන) සත්කුමාර මහතා මැදිහත්ව ඇති අතර ඒ අවස්ථාවේදී චන්ද්‍රපාල මහතා ඔහුගේ කාර්යාලය වටලා තිබූ සේවකයන්ට පවසා ඇත්තේ තමාගේ වැටුප් වර්ධක ලබාදී ඇත්තේ ගුවන් විදුලි සංස්ථාව විසින් බවයි.

කෙසේවුවද,පසුව එහි සිටි වෘත්තීය සමිති ප්‍රධානීන් විසින් චන්ද්‍රපාල මහතා සිය වැටුප් වැඩිකර ගැනීමට ලබාදී ඇති ලිපියක් පෙන්වා ඇති අතර ඔහු එම ලිපිය මගින් ඔහුගේ හිඟ වැටුප් වර්ධකයක්ද ලබාගෙන ඇතැයි හෙළිකර තිබේ.
 
චන්ද්‍රපාල මහතා අදාළ තනතුරට පත් කිරීම සඳහා පසුපසින් සිට කටයුතු කර ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවද එහිදී වෘත්තීය සමිති ප්‍රධානීන් හෙළිකර ඇත.
 
ගුවන් විදුලි සංස්ථාවේ සේවකයන් 300ක් පමණ චන්ද්‍රපාල මහතාගේ කාර්යාලය වටලා ඇති අතර ඔහු ගුවන් විදුලි සංස්ථාවෙන් පිටව ගොස් ඇත්තේ සත්කුමාර මහතාගේ මෝටර් රථයෙන් ඔහුගේ ආරක්ෂාව යටතේය.
SLBC Conflict1
SLBC Conflict2
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top