May 28, 2022

හමුදාවෙන්ම තරවූ මුදලාලිලා පිරිසක් හමුදාවට කන්න දෙන්න බෑ කියයි! Featured

යුද්ධය පැවැති සමයේ සිට යුද හමුදාවට ආහාර සපයමින් අධික ලාභ ඉපැයූ සැපයුම්කරුවන් පිරිසක් හමුදාවට ආහාර සැපයීම ගැටලුවක් බව පෙන්වමින් සිය ගෙවීම් මාස තුනකට වරක් හමුදාව සතු මුදල් සංචිත හෝ භාවිතා කර ගෙවන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ලංකා සැපයුම්කරුවන්ගේ සංගමය හා යුද හමුදා සැපයුම් අධ්‍යක්ෂ මණ්ඩලය අතර පසුගිය බ්‍රහස්පතින්දා යුද හමුදා මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවකදී මේ දැනුම්දීම සිදුකර තිබේ.

එසේම අදාළ අධ්‍යක්ෂ මණ්ඩලයට එහිදී බලපෑම්කර තිබුණේ දැනට තුන් මසකට වරක් වැඩිකරනු ලබන මිල සංශෝධන මාසිකව වැඩිකරන ලෙසයි.

මීට අමතරව ශීත ගබඩාවල තැන්පත් කරනු ලබන ආහාර ද්‍රව්‍ය සැපයුම් කරුවන්ගේ සැපයුම් ප්‍රමාද වුවද ඒවාට දඩ අය කිරීම කපා හරින්නැයිද ඔවුන් යුද හමුදා සැපයුම් අධ්‍යක්ෂ මණ්ඩලයට එහිදී බලපෑම් කර තිබිණි.

රටේ විදුලිය හා ඉන්ධන අර්බුද හේතුවෙන් ඒවා ප්‍රමාද වන බව පෙන්වමින් ඔවුන් එසේ බලපෑම් කර තිබේ.

මේ අතර, ධීවරයන් ශක්තිමත් කිරීමට ආනයනික මාළු කිලෝවකට පනවා ඇති රුපියල් 200 යේ බද්ද ද ඉවත් කරන්නැයි ද ලංකා සැපයුම්කරුවන්ගේ සංගමය එහිදී ඉල්ලා තිබේ.

කෙසේවුවද, සැපයුම් කරුවන් මෙසේ වැඩි මිලක් ඉල්ලමින් තර්ජනය කරමින් සිටියද ඔවුන් මේවන විට ද හමුදාවට සපයන්නේ පෝෂදායී ආහාර වේලක් නොවන බව බවයි.

මෙසේ හමුදාවට ආහාර සපයනු ලබන සැපයුම් කරුවෙක් ඉරිදා ලංකා දීපයට මෙසේ පවසා තිබිණි.

උපුටා ගැනීම "එම සැපයුම්කරුවා පෙන්වාදෙන පරිදි මේ වන විට හමුදාව සඳහා ගුණාත්මක ආහාර වේලක් සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම නොකරණ බවද පෙන්වාදෙයි. බෝංචි වෙනුවට වට්ටක්කා, මාළු වෙනුවට කරවල ලබා දෙන බවද පෙන්වා දෙයි. ඉදිරියේදි කරවල මිල ඉහළ ගිය විට කරවල ද ලබා දීමට නොහැකි බව එම සැපයුම්කරුවා පෙන්වා දෙයි." උපුටා ගැනීම අවසන්.

මිල වැඩි කිරීමක් ඉල්ලුවා - මධුර වික්‍රමරත්න

මේ අතර, යුද හමුදාවට ආහාර සපයන ප්‍රධාන සැපයුම්කරුවකු වන මධුර චික්‍රමරත්න මහතා පුවත් පතකට පවසා ඇත්තේ පනතින ගැටලු ගැන යුද හමුදා සැපයුම් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ විට මිල වැඩි කිරීමක් ලබා දුන් බවයි.

එම මිල වැඩි වීම ප්‍රමාණවත් නැති බව ඔහු කියා සිටී.

පුවත්පත එසේ වැඩි කළ මුදල කොපමණදැයි විමසා ඇතත් මධුර මහතා වැඩි කළ මුදල් සම්බන්ධයෙන් හෙළි කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

හමුදා කෑම ගුණාත්මකයි - හමුදා මාධ්‍ය ප්‍රකාශක

සැපයුම්කරුවන් හමුදාවට ලබාදෙන ආහාර වේල ගුණාත්මක නැතැයි කියා සිටියද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සතිඅන්ත පුවත්පතක් වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මේවන විට හමුදාවට ලබාදෙන කෑම වේල කිසි විටෙක ගුණාත්මක බවවෙන් අඩු නැති බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top