Jun 17, 2022

පොලිසිය අල්ලන කංසා ආයුර්වේදයට

පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන කංසා ශාක ඖෂධ සකස් කිරීම සඳහා ආයුර්වේද සංස්ථාවට භාර දීමට හැකි වන ලෙස නීති සකස් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු නඩු භාණ්ඩ වශයෙන් අධිකරණ වෙත ඉදිරිපත් කෙරෙන කංසා ප්‍රමාණය හැර සෙසු ප්‍රමාණය එසේ ආයුර්වේද සංස්ථාව වෙත භාර දීමට නියමිතය.

කංසා ශාකය යොදා ගනිමින් ආයුර්වේද සංස්ථාව ඖෂධ වර්ග 5ක් නිෂ්පාදනය කරන අතර ඒ සඳහා වසරකට කංසා කිලෝග්‍රෑම් 3,000ක් පමණ අවශ්‍ය බැවින් එම ප්‍රමාණය ලබා ගැනීමට පවතින නීතිමය බාධා ඉවත් කර දෙන ලෙසට ආයුර්වේද සංස්ථාවේ නිලධාරීන් පිරිසක් ඊයේ (16) අමාත්‍ය විජයදාස රාජපක්ෂගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබේ.

ආයුර්වේද සංස්ථාව වෙත භාරදීමට නියමිත කංසා ශාක එම සංස්ථාව දක්වා ප්‍රවාහනය කිරීම, ආරක්ෂා කිරීම ඇතුළු සියලු වගකීම් පොලිසිය භාරගත යුතු බව ද නිසි ක්‍රමවේදයක් යටතේ ඒවා ආයුර්වේද සංස්ථාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට ලබාදිය යුතු බව ද මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top