Jun 17, 2022

පාඨලීට එරෙහි නඩුවේ මූලික විරෝධතා සඳහා දින දෙයි

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු අනතුරට ලක්කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතා පිළිබඳ දේශන ඉදිරිපත්කිරීම සඳහා එම නඩුව ලබන 27 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා අද (17) නියෝග කළේය.

එහිදී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට සාධාරණ නඩු විභාගයක් පවත්වා ගෙනයාම සඳහා තවදුරටත් ලේඛන පැමිණිල්ල වෙතින් අපේක්ෂා කරන බව සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ පැමිණිල්ල විසින් ලබාදිය යුතු ලේඛන රැසක් දැනටමත් විත්තිය වෙත ලබාදී ඇති බවය.

විත්තිය විසින් ඉල්ලා සිටින ඇතැම් ලේඛන පැමිණිල්ලට පවා සොයාගැනීම අපහසු බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කෙසේවෙතත් ලබාදිය හැකි ලේඛන තිබේ නම් ඒවා ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව දන්වා සිටියේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top