Jun 17, 2022

පොඩි ලැසීට ඇප

බූස්ස බන්ධනාගාරයේ දී බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුලු උසස් නිලධාරීන් කිහිපදෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසීට ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය විසින් අද (17) අධිචෝදනා භාර දී තිබේ.

අධිචෝදනා ගොනුකිරීමෙන් අනතුරුව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරන ලද ඇප ඉල්ලීම සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුට රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප හතරක් නියම කළේය.

නඩුව යළි ලබන වසරේ ජනවාරි 31 වැනිදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළේය.

හෙරොයින් සහ ගිනි අවි ළඟ තබාගැනීම මෙන්ම මනුෂ්‍ය ඝාතන ඇතුලු අපරාධ රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී 2020 වසරේ ජූනි 26 වැනිදා සැකකරු මෙලෙස බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන සිදුකර තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top