Jun 19, 2022

වෘත්තිමය ත්‍රීරෝද රථ ලියාපදිංචි කර තෙල් දෙන ක්‍රමයක්!

වාහනයේ අංක තහඩුවේ අංකය මත පදනම්ව වෘත්තිමය ත්‍රීරෝද රථ වලට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුව ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

කොළඹදී අද (19) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

කෙසේවෙතත්, දැන්ම පිරවුම්හල් වල ලියාපදිංචි කිරීමට උත්සහ නොකරන ලෙසත් එම කාර්යය පොලිසිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් සිදුකරනු ඇති බවත් ඔහු පැවසීය.

මේ අතර, පෞද්ගලික රථ වලට ඉන්ධන ලබාදීමේ වෙනත් ක්‍රමයක් ඉදිරියේදී අනුගමනය කරන බවද අමාත්‍යවරයා පැවසීය.

වාහනයේ අවසන් අංකය පදනම් කරගෙන ඉන්ධන ලබාදීමට දින වෙන් කරන ක්‍රමවේදයක් අමාත්‍යවරයා විසින් උදාහරණයක් ලෙස පෙන්වාදුන්නේය.

දුම්රිය හා බස් වලට ඇති තරම් තෙල්

මේ අතර, පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරිම වෙනුවෙන් දුම්රියට, ලංගම හා පෞද්ගලික බස් රථවලට අවශ්‍ය තරම් ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

මේ අනුව දුම්රිය සේවය සඳහා අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 150 හා ලංගම හා පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 600 ලංගම ඩිපෝ හරහාද නිකුත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවැසීය.

සංචාරකයන්  ප්‍රවාහනය කරන බස්රථ හා වෑන් රථ, පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථ, කාර්යාල සේවකයන් ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථ සඳහා ද ලංගම ඩිපෝවලින් ඩීසල් ලබාදෙන බවත් ලංගම ඩිපෝ සහිත ඉන්ධන හල් පැය 24 පුරාම විවෘතව තබන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ආයෙත් පෙට්‍රල් නැවක් එන්නෙ 23 ; පෝලිම් වල ඉන්න එපා

ඔක්ටේන් 92 පෙට්‍රල් රැගත් නෞකාවත් යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ එළැඹෙන 23 දා බවත් අමාත්‍යවරයා හෙළි කළේය.

එබැවින් අනවශ්‍ය ලෙස පෝලිම්වල රැදී නොසිටින ලෙසත්, පවතින සීමිත පෙට්‍රල් තොගය අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් බෙදා හරින බවත්, අත්‍යාවශ්‍යම කටයුතු වලට හැර පෙට්‍රල් ලබාගැනීමෙන් වළකින ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

LIOC ළඟ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 10,000ක්

මේ අතර ලංකා ඉන්දීය තෙල් සමාගමට (LIOC) අයත් ත්‍රිකුණාමලය තෙල් පර්යන්තයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 10,000ක් ඇති බවත් එය වෙළඳපොළට නිකුත් කරන ලෙස ඔවුන්ට දැන්වූ බවත් අමාත්‍යවරයා පැවැසීය.

LIOC සමාගම විසින් දිනපතා වෙළඳපොළට නිකුත් කරන්නේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 300ක් බවත් එය 1000ක් දක්වා ඉහළ නංවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සිපෙට්කෝ එකට තනියෙන් බෑ

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිපෙට්කෝ හා LIOC සමාගම් වලට පමණක් සිදුකළ නොහැකි බවට තමා විශ්වාස කරන බවත් ඉන්ධන නිෂ්පාදනය කරන රටවල් වලින් තවත් එවැනි සමාගම් ස්ථාපිත කළ යුතු බවත්ය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top