සැකකාර පොලිස් කොස්තාපල්වරයා සිද්ධිය වන මොහොතේ බීමතින් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මොහු බෙම්මුල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන නිලධාරියෙකු බව වාර්තා වේ.
සැකකාර කොස්තාපල්වරයා කොතලාවල පිවිසුමෙන් සිය යතුරුපැදිය දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කර තිබේ. පසුව ඔහුට ඉදිරියට ගමන් නොකරන ලෙස පොලිස් නිලධාරීන් දැනුම් දී ඇති අතර ඉන්පසු ඔහු සිය යතුරුපැදිය හරවා කඩවත දෙසට ගමන් කර තිබේ.
අධිවේගී මාර්ගයේ එලෙස කිලෝමීටර් දෙකක් පමණ සිය යතුරුපැදිය ධාවනය කර ඇති මොහු ඉන් අනතුරුව අධිවේගී මාර්ගයේ ගමන්ගත් කාරයක ගැටී ඇත. අනතුරින් කාරයට ද යතුරුපැදියට ද හානි වී තිබේ.
කෙසේ වෙතත් ඔහු අධිවේගී මාර්ගය ඔස්සේ යතුරුපැදිය ධාවනය කරන අයුරු ඊට පසුපසින් විරුද්ධ තීරුවේ පැමිණි පුද්ගලයෙකු එය ජංගම දුරකතනයේ රූපගත කර තිබේ.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා සපුගස්කන්ද පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර පොලිස් කොස්තාපල් අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.