Jul 03, 2022

ජැක්සන්, කොළඹ දැඩි සත්කාර ඒකකයට! (Update) Featured

අනුරාධපුරයේදී අනතුරකට ලක්වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා සැත්කමකින් අනතුරුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව ජාතික රෝහල පවසයි.

අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේදී ඇන්තනි මහතා හා තවත් දෙදෙනෙකු ගමන් කරමින් සිටි කැබ් රථය වන අලියෙකු හා ගැටීමෙන් අනතුරුව ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.

ඇන්තනි මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට එවා ඇති අතර, අනෙක් පුද්ගලයන් දෙදෙනා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඉන් එක් පුද්ගලයෙකු එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
 
-------  Update : July 03,2022  09.50am --------
 
ජැක්සන්ලා වල් අලියෙක්ගේ ඇඟේ හැප්පෙයි; ගිය වාහනේ චප්ප වෙයි!
 
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර - තලාව  මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ වල් අලියකුගේ සිරුරේ ගැටීමෙන් ඒ මහතා ඇතුළු පිරිස තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි තලාව පොලිසිය කියයි.
අනතුරත් සමග කැබ් රථය උඩට වල් අලියා ඇද වැටීමෙන් වාහනයට ද දැඩි හානි සිදුව ඇත.

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇති සෙසු අය වන්නේ එම මෝටර් රථයේ ගමන්ගත් සමන් ඇන්තනී හා ඉරේෂ් යන අයයි.

මොරගොඩ ප්‍රදේශවාසීන් හා තලාව පොලිසියේ නිලධාරීන්ගේ එකතුවෙන් මෙම තුවාලකරුවන් තිදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top