Jul 27, 2022

අද පාර්ලිමේන්තුව රැස්වෙයි; සජබෙ හදිසියට විරුද්ධ වෙයි

පාර්ලිමේන්තුව අද (27) පෙරවරු 10.00ට රැස්වීමට නියමිතය.

ඒ අනුව, මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය අද පස්වරු 4.30 දක්වා විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට නියමිතය.

2022 ජුලි 17 දිනැති අංක 2288/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් එවකට වැඩබලන ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශනය සිදුකොට ඇති අතර නෛතික ප්‍රතිපාදන අනුව එම හදිසි අවස්ථා ප්‍රකාශනය සඳහා දින 14 ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමතිය ලබා නොගතහොත් එය අවලංගු වී යනු ඇත.

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා මහජන ආරක්ෂක ආඥාපනතේ ජනාධිපතිවරයා සතු බලතල ප්‍රකාරව මෙම නිවේදනය නිකුත් කර ඇති බවද ගැසට් පත්‍රයේ සඳහන් වෙයි.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීම නිසා පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කළ වජිර අබේවර්ධන මහතා අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතය.

මේ අතර, විරෝධය දැක්වීමේ අයිතිය මර්දනය කිරීමේ අරමුණින් ගෙන එන හදිසි නීතියට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට සමඟි ජන බලවේගය සහ සමඟි ජනබල සංධානය ඊයේ (26) ඒකමතිකව තීරණය කර තිබේ.

ජනතාවගේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ලබා නොදෙමින් සෘජු හා වක්‍ර ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය මර්දනකාරි ලෙස මුදාහරිමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමඟ සම්බන්ධ නොවීමට සමඟි ජන බලවේගය සහ සමඟ ජනබල සංධානයේ මන්ත්‍රි කණ්ඩායම සහ කෘත්‍යාධිකාරි මණ්ඩලය එලෙස ඊයේ (26) රැස් වී තීරණය කර ඇත.

ජනතාවගේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ලබා නොදෙමින් සෘජු හා වක්‍ර ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය මර්ධනකාරි ලෙස මුදාහරිමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමග සම්බන්ධ නොවීමට එහිදී සමගි ජන බලවේගය තීරණය කර ඇතැයි පැවසේ.

පාර්ලිමේන්තු‌ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ජනතාවගේ දැවෙන ගැටළුවලට විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමයක් ස්ථාපිත වන්නේ නම්, ඒ සඳහා සහයොගය දීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top