Jul 28, 2022

ඇන්ටිජන් හිඟය කරලියේ; MOH වල නෑ කිව්වට හම්දානි තියෙනව කියයි

ඔමික්‍රෝන් නව ප්‍රභේදය ප්‍රබලව බෝවීමේ අවදානමක් රටේ පැවතියත් ආසාදිතයන් පරික්ෂා කිරිමට අවශ්‍ය රැපිඩ් ඇන්ටිජන් කට්ටල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 365 තුළම හිඟ බව "අරුණ" පුවත්පත වාර්තා කර තිබේ.

එමෙන්ම වෛද්‍යවරුන් හඳුනාගන්නා ආසදිතයින්ට වඩා වැඩි කොවිඩ් අසාදිතයින් ප්‍රමාණයක් සමාජයේ සිටින බවද එම පුවත්පත අනාවරණය කරයි.

මේ අතර, වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රධාන වසංගත රෝග ⁣විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඔමික්‍රෝන් නව ප්‍රභේදයක් මේ වන විට හඳුනාගෙන ඇති අතර පසුගිය කාලයට සාපේක්ෂව පසුගිය දින දහය ඇතුළත කොරෝනා රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් සමඟ මරණ අනුපාතය ද වැඩිවන බව ද ප්‍රාථමික එන්නත්කරණය (පළමු සහ දෙවන මාත්‍රාව) සම්පුර්ණ කර වසරක් ගතවු පසු එහි ප්‍රතිශක්ත්තරණය අඩුවන බව ද ඔහු සඳහන් කළේය.

වයස අවුරුදු විස්සට (20) වැඩි පුද්ගලයින් ලක්ෂ හැටක් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ බුස්ටර් මාත්‍රාව ලබාගෙන නොමැති අතර වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයින්ගෙන් ලක්ෂ දහයක පමණ පිරිසක් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු වර්ධක මාත්‍රාව ලබාගෙන නොමැති බව ද ඔහු කීවේය.

කොවිඩ් අසාදිතදැයි පරික්ෂා කිරිම සඳහා පි.සි.ආර් පරික්ෂණ කට්ටල ද අවශ්‍ය ප්‍රමාණයට නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා චෝදනා කරයි.

මේ වනවිට බිම් මට්ටමේ රෝග ලක්ෂණ සහිත රෝගීන් වැඩි පිරිසක් සිටින බවත් පවතින ආර්ථික අර්බුදය හමුවේ කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහළ ගියහොත් සිදුවන කොවිඩ් මරණ වළක්වා ගැනීමට නොහැකි වන බවත් ඔහු කියා සිටී.

කොවිඩ් ආසාදිතයිකන් පරික්ෂා කිරිම සඳහා රසායනාගාර පහසුකම් නොමැති වුවහොත් මෙම රෝග ව්‍යාප්තිය පාලනය කිරීම අසීරුවන බව ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පෙන්වා දෙති.

ඇන්ටිජන් හිඟයක් නෑ - හම්දානි

මේ අතර, රැපිඩ් ඇන්ටිජන් හිඟතාවයක් නෙමැති බවත් වෛද්‍ය සැපයුම් අංශය සතුව අවශ්‍ය ප්‍රමාණයට රැපිඩ් ඇන්ටිජන් කට්ටල ඇති බවත්, රැපිඩ් ඇන්ටිජන් හිඟය සම්න්ධව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන කොවිඩ් සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසා ඇත.

ඉදිරියේදි තවදුරටත් රැපිඩ් ඇන්ටිජන් අවශ්‍ය නම් එම අවශ්‍යතාවය සපුරාගැනීමටද හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පෙරේදා (26) දිනයේදී කොවිඩ් මරණ හතරක් තහවුරු කර ඇත.

පිරිමි පුද්ගලයින් දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනකු මෙලෙස මියගොස් තිබේ.

ඊයේ (27) දිනයේදී කොවිඩ් රෝගීන් 154 ක් වාර්තා වී ඇත.

පෙරේදා (26) වාර්තා වු කොවිඩ් අසාදිතයින් එකසිය දහනවදෙනා (119) බස්නාහිර පළාතෙන් වාර්තා වි ඇති අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

සබැඳි පුවත්


උසාවියේ දිග හැරුණු දිලිත් කිලී කෝන්තරේ : සිරසට වාරණයක්!

NMRA දත්ත මඟඩිය; මහ මොළකරු එළියේ: සැඟවුණු අමුත්තා එපික් එකේ?

සිරසට එරෙහි අතුරු තහනම නඩුව අවසන් වන තෙක්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top