Aug 09, 2022

ආයුධ පෙන්වීමට ගිය පාතාල වෙඩික්කරු ගල්වලකට ඇදවැටී මරුට

පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් පාතාල වෙඩික්කරුවෙකු වූ ෂිරාර් ‍හෙවත් තුවාන් නවගමුව කොරතොටදී සඟවා තිබූ ආයුධ පෙන්වීමට ගොස් ගල්වලකට ලිස්සා වැටීමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ, මුල්ලේරියාව බැංකුව හංදිය ප්‍රදේශයේ පසුගිය 02 වන දා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභිකයෙකු වන සුමුදු රුක්ෂාන් නමැත්තා වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට මොහු සම්බන්ධ බවයි.

ඔහු තවත් ඝාතන රැසක වෙඩික්කරු බවට අනාවරණ වී ඇති බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු ගල් කොරියේ පහළට ඇදවැටීමෙන් මෙලෙස අනතුරට ලක්වූ බවත්, බරපතල තුවාල ලැබූ ඔහු අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, නවගමුව පොලිසිය පවසයි.

මේ අතර, සැකකරු සමඟ පොර බැදීමෙන් තුවාළ ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකුද තුවාල ලබා අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දහවල් සිදුකිරීමට නියමිත අතර නවගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top