Aug 13, 2022

සර්ව පාක්ෂික ආණ්ඩුව බකල් වෙයි; එන සතියේ රාජ්‍ය ඇමතිලා දිවුරයි

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය දේශපාලන පක්ෂ ලෙස ආණ්ඩුවට එක් නොවීම නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.

මේ නිසා සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවට සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි පැවසේ.

ජනාධිපතිවරයා මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාතික ජන බලවේගය හැර සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා පවත්වා යෝජනා ලබා ගෙන ඇත.

අගමැතිවරයාගේ ප්‍රදානත්වයෙන් තවත් සාකච්ඡාවක් ඊයේ (12) පාර්ලිමේන්තුවේදී පැවැති අතර එයද විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ ඇතැම් දේශපාලන පක්ෂ ඇමැතිධුර ලබා ගැනීමටද, ඇතැම් පක්ෂ ඇමැතිධුර ලබා නොගෙන සහයෝගය දැක්වීමටද එකඟත්වය පළ කර ඇති බවද වාර්තා වේ.

ඇතැම් දේශපාලන පක්ෂ පිටත සිට සහයෝගය ලබා දීමට නියමිතය.

මේ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදීද කරුණු පැහැදිලි කර ඇත.

පක්ෂ විසින් ලබා දුන් යෝජනා සෑම පක්ෂයකටම ලබා දෙන අතර ඉන් පසු ලබන සතියේදී අදහස් ලබා ගනිමින් වැඩපිළිවෙළ සකස් කිරීමටද සැලසුම් කර තිබේ.

පවතින ආණ්ඩුවේ ඇමැති ධුර දහ අටක් මේ වන විට පත් කර ඇත.

දේශපාලන පක්ෂවලින් වෙන් වෙන් වශයෙන් මන්ත්‍රිවරු පැමිණීම නිසා ඇමැතිධුර, රාජ්‍ය ඇමැතිධුර සංඛ්‍යාවද ඉහළයා හැකි බව මේ අතර වාර්තා වේ.

කෙසේ වෙතත් රාජ්‍ය ඇමැතිවරුන් ලබන සතියේදී දිවුරුම් දීමටද නියමිත බව රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු මන්ත්‍රිවරු පහළොවකට වැඩි සංඛ්‍යාවක් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහයෝගය දැක්වීමට සූදානමින් සිටින බවද මේ අතර වාර්තා වේ.

මේ අතර, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට සහය දෙන පක්ෂ සමග එක්ව එය ක්‍රියාත්මක කරන බවයි.

ඇතැම්විට සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණයට නොහැකි වුවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩි පක්ෂ ගණනාවක සහය ගැනීමට උත්සහ දරන බවද හෙතෙම කියා සිටී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top