Feb 26, 2021

ජනප්‍රියත්වයත්, ප්‍රශංසාවත් ඕනවට වඩා ගන්නෙ නෑ

සිරිපැරකුම් චිත්‍රපටයෙන් රංගනයට අත්පොත් තබන විජයබා කොල්ලයේ නීලමිණීගේ චරිතය හැඩකළ රීදි තිරයේත් පුංචි තිරයේත් එක ලෙස එකිනෙකට වෙනස් චරිතයන්ට පණපොවමින් රංගනයෙහි දස්කම් දක්වන ජනතා ආකර්ෂණය නොඅඩුව ලැබෙන රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා සමඟ පිළිසඳරක යෙදෙන්නට හදගැස්ම අපි හිතුවා.

ස්වර්ණවාහිනියේ තිරගත වීම ආරම්භ කරපු නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ පාඨලී චරිතයට මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර කොහොමද?

නාඩගම්කාරයෝ කියන්නේ මගේ දෙවැනි දීර්ඝ ටෙලිනාට්‍යය. තවම දින කිහිපයක් විතරයි නාඩගම්කාරයෝ පෙන්නලා. ඉතින් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය චරිතෙටත් ආදරෙයි. නාට්‍යයටත් ආදරෙයි. ඒ විතරක් නෙවෙයි විදේශයන්හි ඉන්න ප්‍රේක්ෂකයන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් සතුටුයි ඒ ගැන.

මේ වෙනකන් ලැබුණු චරිත අතරින් පාඨලී චරිතය සොනාලි ෆොන්සේකාට දැනෙන්නේ කොහොමද?

පාඨලී කියන්නේ කලාවට ආදරය කරන ගෑනු ළමයෙක්ගේ චරිතයක්. ඒ වගේම කට සැර, අසාධාරණය පෙන්නන්න බැරි. අසාධාරණයටත් වඩා වැරදි දේ පෙන්නන්න බැරි ඒ නිසාම තමයි සරා එක්ක නිතරම මරාගන්නේ. ඒSenaliF1 670px 21 02 26 විතරක් නෙවෙයි හොඳ කලාකාමී පවුල් පසුබිමක හැදුණු ගමේ මාස්ටර්ගේ ලොකු දුව. ඉතින් මමත් කලාවට ගොඩක් ආදරය කරන කෙනෙක් නිසා මම ගොඩක් කැමැතියි පාඨලී චරිතයට. ඒ වගේම මගේ ලොකු ආසාවක් තියෙනවා නාඩගම් සංස්කෘතියට. ඉතින් නාඩගම්කාරයෝ නාට්‍යයත් සමඟ සම්බන්ධ වීම නිසා මගේ ඒ ආසාවත් ඒ දේවල් ගැන ඉගෙන ගන්න අවස්ථාවකුත් ලැබිලා තියෙනවා. ඒ දේවලුත් එක්ක පාඨලී චරිතය මම මේ දවස්වල ගොඩාක් සන්තෝසයෙන් සම්බන්ධ වෙලා ඉන්න චරිතයක් කිව්වොත් හරි.

2013 රීදි තිරයෙන් ආරම්භ කරපු ඔබගේ රංගනය මේ වෙනකොට පුංචි තිරයටත් පැමිණිලා තියෙනවා. ඒත් ඔබව මේ වසර 7 ඇතුළත දකින්නට ලැබුණේ සුළු නිර්මාණ කිහිපයකින් පමණයි. ඊට හේතුව මොකද්ද?

ඒකට විවිධාකාර හේතු තියෙනවා. එක හේතුවක් තමයි මම සිරිපැරකුම් චිත්‍රපටය කළාට පස්සේ මම නැවතත් එංගලන්තයට ගිහිල්ලා මගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවුරුදු 3ක් කාලය ගත කළා. මම ජීව විද්‍යා වෛද්‍ය අංශයේ විද්‍යාඥවරියක් විධියට මගේ උපාධිය ලබාගත්තා. ඒ වගේම තවත් හේතුවක් තමයි මම චරිත තෝරා බේරාගෙන විවිධාකාර චරිත තුළින් මගේ ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්න තිබ්බ කැමැත්ත. ඒත් එක්කම ගොඩක් දෙනෙක් මම එංගලන්තයේ ඉන්නේ කියලා අනුමාන කරපු නිසා ගොඩක් හොඳ චරිත නිරූපණයට මට තිබුණු අවස්ථාවන් ගිලිහී ගියා. ඉතින් ඒ හේතුන් නිසා වෙන්න ඇති මේ අවුරුදු 7ට මාව අඩුවෙන් දකින්නට ඇත්තේ.

ඉදිරියේදී තිරගතවීමට නියමිත හර්ෂ උඩකන්ද මහතාගේ කබඩි චිත්‍රපටයේත් ජැක්සන් ඇන්තනී මහතාගේ එකගෙයි සොකරි චිත්‍රපටයේත් ඔබට ලැබී තිබෙන චරිත ගැන කතා කළොත්?

ජැක්සන් මාමාගේ එකගෙයි සොකරි චිත්‍රපටයේ ඇත්තටම මම කරන්නේ පොඩි චරිතයක්. දලුමලි කියලා ගමේ ගෑනු ළමයෙක්ගේ චරිතයක්. ඒකට ජැක්සන් මාමාගෙන් විශේෂ ආරාධනාවක් ලැබෙනවා. ඒ චරිතයට එයාට වෙන කවුරුත්ම ලැබුණේ නෑ මටම එන්න කියලා. පොඩි චරිතයක් වුණත් ජැක්සන් ඇන්තනී කියන ඒ කලාකරුවත් එක්ක වැඩ කරන්න තියෙන ආසාවට මම ඒ චරිතය කරනවා. ඒකෙනුත් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. ඒ අතරම හර්ෂ උඩකන්දගේ කබඩි චිත්‍රපටය වෙනමම විදිහේ නිර්මාණයක්. සින්දු තියෙන, නැටුම් තියෙන, කොමර්ෂල් පැත්තට බර නිර්මාණයක් කිව්වොත් නිවැරැදියි. ඉතින් මම ඒ වගේ නිර්මාණයකට මීට කලින් සම්බන්ධ වෙලා නැහැ. ඒක මට වෙනස්ම අත්දැකීමක්. ඒ විතරක් නෙවෙයි ධනුෂ්ක රේමන් මහතාගේ පරිස්සමෙන් ඉන්න චිත්‍රපටයටත් මම සම්බන්ධ වුණා. ඉතින් මේ නිර්මාණ 2020දී තමයි ප්‍රේක්ෂකයා අතරට එන්න තිබුණේ. නමුත් මේ වසංගත තත්ත්වයන් නිසා ඒක කල්ගියත් මම හිතනවා මේ අවුරුද්දේ මේවා දැක බලාගැනීමට පුළුවන් වේවි කියලා.

සෙනාලි ෆොන්සේකා ඇත්ත ජීවිතයේ කොහොම චරිතයක්ද?

ලොකුවට තමන් රංගන ශිල්පිනියක් කියලා හිතාගෙන ඉන්නේ නැති වෙලාවකට පොඩ්ඩක් දඟ, වෙලාවකට කේන්ති යන හැම දේකින්ම පොඩ්ඩ පොඩ්ඩ තියෙන සාමාන්‍ය ගැහැනු ළමයෙක්.

වර්තමානය වන විට ඔබ ජනප්‍රියත්වයේ ඉහළින්ම සිටින නිළියක්. ඔබගේ ජනප්‍රියත්වය දිගින් දිගටම පවත්වාගෙන යෑමට ඔබ අනුගමනය කරන ක්‍රියාපිළිවෙතක් තිබෙනවද?

මම හිතන්නේ නැහැ මම ජනප්‍රිය කෙනෙක් කියලා. තාමත් මම මං දිහා බලන්නේ මේ ක්ෂේත්‍රයට අලුතින් ආපු රංගන ශිල්පිනියක් විදිහටයි. ඒක මට ගොඩක් උදවු කරනවා පොළොවේ පය ගහලා ඉන්න. මම ජනප්‍රියත්වයවත් ලැබෙන ප්‍රශංසාවවත් ඕනවට වඩා ඔළුවට ගන්න කෙනෙක් නෙවෙයි. මොකද දවසක මේ දේවල් නැති වුණොත් අපිට අමාරුවෙනවා. ඉතින් ඒක නිසා මම හැමතිස්සෙම සාමාන්‍ය විධියට ජීවත් වෙනවා. ඉතින් මට ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබෙනවා මම ඒ ආදරයට ආදරෙයි. මගේ නිර්මාණ අගය කරන, මට ආදරය කරන ප්‍රේක්ෂකයා නිසයි මම ඉන්නේ. ඒත් එක්කම මගේ රංගනයේදී උදවු කරන අධ්‍යක්ෂවරයාගේ සිට ඒ හැම කෙනෙක්ම මට ශක්තියක්. ඉතින් මේ හැමෝගෙම ආදරය මැද්දේ මම හෙමින් ගමනක් යනවා.

සමාජ මාධ්‍ය තුළත් ඔබ කැපීපෙනෙන චරිතයක් නෙවෙයි. ඊට හේතුව මොකද්ද?

මම ලොකුවට ෆෝන් එකත් එක්ක ඉන්න චරිතයක් නෙවෙයි. සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වෙන්න නම් නිතරම ෆෝටෝ දාන එක, ඒ දේවල් ගැන අප්ඩේට් කරන එක වගේ දේවල් සිද්ධ කරන්න ඕනෙනේ. ඒත් ඒ දේවල් කරන්න මම පොඩ්ඩක් කම්මැලියි. මම ඇත්තටම ආසයි මම තැනක ඉන්නවා නම් එතැන ඉන්න පුද්ගලයොත් එක්ක කතාබහ කරන්න. අපිත් එක්ක ප්‍රවීණ නළු නිළියන් ඉන්නවා නම් ඒ අයගේ ඒ කතා අහලා ඒ වෙලාවේ ජීවත් වෙන්න කැමැති කෙනෙක් මම. ඒකත් එක්ක ෆෝන් එක කියන දේ මගෙන් මඟහැරෙනවා. වෙලාවකට රූපගත කිරීම්වලට ගියාම මම ෆෝන් එකක් භාවිත කරන්නෙම නැහැ. ඉතින් ෆෝන් එකත් එක්ක ලොකු බැඳීමක් නැති නිසාම වෙන්න ඇති සමාජ මාධ්‍ය තුළ ලොකුවට කැපීපෙනෙන චරිතයක් වෙන්නේ නැත්තේ.

සෙනාලිගේ ඉදිරි සැලසුම් මොනවාද?

මගේ ජීවිතයේ අද වෙනකොට ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. මගේ තාත්තා නැති වීමේ ඉඳන්ම ගොඩක් දේවල් මගේ ජීවිතයේ වෙනස් වුණා. මම මානසිකව වැටුණා. මම කලාවට ආයේ එන්නේ නෑ කියන තැන හිටියා. මම වැටිච්ච තැනක හිටියා. ඒත් මගේ එක දෙයක් තියෙනවා. වැටුණොත් නැඟිටිනවා කියන තැන මම ඉන්නවා. මගේ ඉදිරියේ ලොකු සැලසුම් නැහැ. හිතේ තියෙනවා මේ මේ වගේ දේවල් ටිකක්. මගේ රටට, මගේ ක්ෂේත්‍රයට, මගේ ප්‍රේක්ෂකයන්ට කරන්න ඕනේ කියලා. සැලසුමක් නැතිවම නෙවෙයි. නමුත් ලොකුවට සැලසුම් හදාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි මම.

(හදගැස්ම)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top