Oct 05, 2018

කුඩුමීරිය වැසි වනේ වනසන්නේ සදාහරිත ද ? (ඡායා)

සිංහරාජයට අයත් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති කුඩුමීරිය වැසි වනාන්තරයේ ඇති ගස් විස රසායන ද්‍රව්‍යය යොදාගනිමින් සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම විසින් විනාශ කරන බවට වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය චෝදනා කරනු ලබයි.

එම සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ චෝදනා කරසිටී. එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

සැලසුම් සහගතව යන්ත්‍ර යොදාගනිමන් වටිනාකමින් ඉහල විශාල ගස් සිදුරු කර ඒ තුළට විස රසායන ද්‍රවය යොදා ඉතාමත් ම්ලේච්ඡ අයුරින් ඒවා මරාදමා ඇත. ගස් සිදුරු කර ඒ තුළට රසායනයක් ඇතුල්කර ගස් මරාදැමීම මගින් මේ ගස් ස්භාවිකව මැරුණු බව පෙන් වීමට උත්සහ ගෙන ඇත. සාමාන්‍ය පුද්ගලයෙකු විසින් සිදු කළ හැකි කාර්යයක් නොවන අතර එය මහා පරිමාණ සැලසුම් සහගත අයතනනයක හෝ ව්‍යාපාරයක ක්‍රියාවක් ලෙස හොඳාකාරවම දැකිය හැකිය.

මෙම රක්ෂිතය මෑත කාලයේ මිනිස් ක්‍රියාකාරකම් නිසා විශාල වශයෙන් එලිපෙහෙලි වන්නට පටන් ගෙන ඇත. පසුගිය කාලයේ දිගින් දිගටම විනාශයන් වූ අතර එය වැලක්වීමට රාජ්‍ය ආයතන විශාල වෙහෙසක් ගන්නා ලදී. එවන් පසුබිමක යළිත් මෙවැනි තත්ත්වයක් උද්ගතව තිබේ.

දැනටමත් විශාල හානියක් සිදු වී ඇති කුඩුමීරිය වැසි වනාන්තරය වාහනයකින් ළඟාවීමට අපහසු දැඩි කඳුකර කඳුවළල්ලකින් සැඟව ඇති භූමියකි. කුඩා ගඟත්, දෙල්ගොඩ ගඟත් පෝෂණය කරන ප්‍රධාන ජල පෝශක ප්‍රදේශයක්ය. එය වටා වැද්දාගල, කත්ලාන, රඹුක ඇතුලු ගම්මාන රැසක් පිහිටා ඇති අතර එම ගම්මාන තුල ජීවත් වන දහස් ගණනකගේ ජීවනෝපාය වන කෘෂිකර්මාන්තයේ පැවැත්මට කුඩුමීරිය වැසි වනාන්තරය සෘජුවම දායක වේ. එසේම, වනාන්තරය මරාදැමීමට යොදනු ලබන රසායන ද්‍රව්‍ය ජලයට එකතුවී ජනතාව පරිභෝජනය කරන ජලමුලාශ්‍ර වලට ඇතුළු වීම තුලින් ඔවුන් විශාල සෞඛ්‍ය තර්ජනයකට මුහුණ දිය හැකිය.

මෙරට ඇති එකම ලෝක උරුම වනාන්තරය වන සිංහරාජ රක්ෂිතය මේ වන විට හෙක්ටයාර 11,000 කට අධික වපසරියකින් සමන්විත උවද සිංහරාජය වටා සමන්විත පරිවාර රක්ෂිත සමගින් අතීතයේදී මේ වනාන්තරය විශාල ප්‍රදේශයක් පුරාවට ව්‍යාප්තව තිබී ඇත. විවිධ වූ සංවර්ධන ක්‍රියාවන්අවල ප්‍රථිඵල වශයෙන් සිංහාරජය වටාවට පරිවාර රක්ෂිත රැසක් බිහි වී ඇති අතර සිංහාරජය හා සමාන ඉහල ජෛව විවිධත්වයක් මේ රක්ෂිත තුළද දැකිය හැකිය.

මෙම රක්ෂිත ප්‍රදේශයේ ජෛව විවිධත්වය සලකා බලා පරිසර සංවේදී කලාපයක් ලෙස නම් කිරීමට අවශ්‍ය කටයුතු සියල්ල මධ්‍යම පරිසර අධිකාරිය මගින් මේ වන විට සිදු කර ඇති අතර අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂාවක්ද කර වාර්තාවන් සකසා ඒ පිළිබඳ අදාළ කටයුතු කෙරෙමින් පවතී. එසේ කටයුතු සිදුවෙද්දී මෙම වනාන්තරය විස රසායන මගින් විනාශ කිරීම බරපතල අපරාධයකි.

ඒ අනුව වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය විසින් සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම දිගින් දිගටම දැනුවත් කර ඇති අතර මෙම විනාශය පිළිබඳවද එම සමාගමට හා අදාළ ආයතන කීපයක් වෙත ලිපියොමුකර ඇත. මෙලෙස වටිනා රක්ෂිත කලාපයක් ඉතාමත් සාහසික අයුරින් විනාශ කරන අයවලුන් පිළිබඳ සොයා බලා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන මෙන් අදාල බලධාරීන්ගෙන් වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය ඉල්ලා සිටී.

සදාහරිත කියන්නේ කවුද ?

සාදාහරිත හි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ සතිස් නවරත්න නැමැත්තෙකි. ඔහුගේ බිරිය වන සකුන්තලා නවරත්න එහි අධ්‍යක්ෂවරියකි. මුදිත ජයවර්ධන හා ජයම්පති මිරැන්ඩෝ එහි අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කරනු ලබයි.

Sadaharitha Plantations Team Recovered

මේ චෝදනාව සම්බන්ධයෙන් විමසීමට අප සදාහරිත ආයතනයේ සභාපතිවරයා හෝ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ අතර එය ව්‍යර්ථ විය.

කෙසේවුවද, එහි උසස් නිලධාරිනියක සම්බන්ධකරගනිමින් ඇගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඇය එහිදී කියා සිටියේ තමාට අධ්‍යක්ෂවරුන් පවසා ඇත්තේ අදාළ ඉඩම සිය ආයතනයට අයත් එකක් නොවන බව යැයි ඇය පැවසුවාය. එසේම එම ඉඩම විකුණා දමා මේවන විට වසර කිහිපයක් වන බවත් සිය අධ්‍යක්ෂවරුන් පැවසූ බව ඇය අප සමග කියා සිටියාය.

ඉඩමේ හිමිකරු කවුද ?

පසුව අප වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතාගෙන් ද විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මේ ඉඩමට නිෂ්චිත හිමිකරුවකු සොයාගැනීම දැන් ගැටලුවක්ව ඇති බවයි. කෙසේවුවද, සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගමේ සභාපතිවරයා මෙය තම සමාගමට අයත් එකක් නොවන බවත්, එය වෙනත් අයකුට විකුණා ඇති බව තමාට ද කියා ඇතත්, එසේ විකුණූ අය සම්බන්ධයෙන් හෙළිකරන ලෙස තමන් ඉල්ලා සිටියද එය මෙතෙක් හෙඛි නොකළ බවද ඔහු කියා සිටියේය.

එසේම තමා ලිඛිතව මේ සම්බන්ධයෙන් විමසීම් කර ඇතත් ඒ කිසිදු ලිපියකට සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම ලිඛිතව පිළිතුරු සපයා නැති බවද ඔහු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය විසින් සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගමට යවන ලද ලිපිය පහත දැක්වේ.

raineforest1

Rainforest2

Sadaharitha 1

Sadaharitha 2

Sadaharitha 3

Sadaharitha 4

Sadaharitha 6

Sadaharitha 7

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top