Oct 24, 2018

සම්බා, නාඩු ගණන් බසියි

මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් එකඟ වූ පරිදි සම්බා සහ නාඩු සහල් මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පරීක්ෂණ නිලධාරී ඩබ්ලිව්. එච්. දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි.

පසුගිය කාලයේ වෙළෙදපොළහි සහල් මිල ඉහළ යාමක් දක්නට ලැබුණු බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකර ජනාධිපතිතුමා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවක දී ව්‍යාපාරිකයින් මෙම තීරණයට එළඹි බව හෙතෙම කියා සිටියේය.

සෑම වසරකම සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් ඔක්තෝම්බර් සිට ජනවාරි දක්වා දක්නට ලැබෙන බවත් එම මිල ජනතාවට බරක් නොවන ලෙස පහළ දැමීම මෙහි අරමුණ බවත් ඒ අනුව සම්බා කිලෝග්‍රෑම් 1ක් රුපියල් 108ක උපරිම මිලක් සහ නාඩු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 88කටත් නියම වෙනු ඇති බව එම ආයතනය කියා සිටී.

ඒ අනුව රටේ සමස්ත ජනතාවගෙන් සියයට 80ක් පමණ පරිභෝජනය කරන නාඩු සහල් මිල අඩුවීම සෘජුවම අනෙකුත් සහල් වර්ගවල මිල මට්ටම් පහළ යෑමට බලපාන අතර එහිදී සුදු කැකුළු, රතු කැකුළු ආදී සහල්වර්ගවලද මිල පහළ යනු ඇති බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top