Oct 24, 2018

"චිත්‍රපට සංස්ථාව බෝඩ් ලෑල්ලක් විතරයි" - සුදත්

මධ්‍යම පංතිය ඉලක්ක කරගෙන අසාමාන්‍ය බදු පැනවීම කලාවට ඉමහත් හානියක්වී ඇති බව නිදහස් කලා සන්ධානයේ සභාපති ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතා පවසයි.

නිදහස් කලා සන්ධානයේ අනුරාධපුර ශාඛාව පිහිටුවීම ඉකුත්දා ( 21 ) අනුරාධපුර යොවුන් නිකේතනයේ දී පැවති අතර එම අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

එහිදී සුදත් රෝහණ මහතා මෙසේද පැවසීය.

"අද ව්‍යාපාර බිදවැටිලා. ආර්ථිකය කඩා වැටිලා. බදු බර දරන්න බැරි තත්ත්වයකට පත්වෙලා. එහෙම තත්ත්වයකදී කලා කර්මාන්තය කරන්න තරම් මානසික නිදහසක් කලා කරුවන්ට නැ. රසිකයිනට ඒවා බලන්න සල්ලිත් නැ. ඒ නිසා තමයි ජනතාව ගෙදර සාලයට වැටෙන කුණු ටෙලිනාට්‍ය බලලා හූල්ලමින් ඉදලා නිදා ගන්නේ. සංස්කෘතික රස්තියාදුකාරයින්ට නම් ප්‍රශ්න නෑ. එන් ජී ඕ වලින් වගේම මේ ආණ්ඩුව එක එක ව්‍යාපෘතිවලින් ඔවුන්ට අවශ්‍ය සල්ලි පොම්ප කරනවා. 2015 ජනවාරි 08 වැනිදා වෙනස ඇති කරන්න මුල් වූ කලාකරුවන් කියන කොන්තරාත්කරුවන් සමාජය ඉදිරියේ අද නිරුවත් වෙලා. පොදු අපේක්ෂකයා සමඟ එකම කරුණක්වත් අද ඉටුකරලා නෑ. ඉටු කරන්න සූදානමකුත් නෑ" යැයි පැවසීය.

කලාව පිරිහී යනවා නම් කලාව කර්මාන්තයක් විදිහට කරගෙන යන්න බැරිනම් කලාකරුවන් නොසලකා හරිමින් සිටිනවා නම් එතනදී තමන්ට අයිති සමාජ භූමිකාව ඉටුකිරීම සඳහා වහ වහා නැගී සිටිය යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

වර්තමානය වන විට චිත්‍රපටය ටෙලිනාට්‍ය රූපවාහිනී වැඩසටහන් සාහිත්‍ය ගද්‍ය පද්‍ය නර්තන ආදී සකලවිධ කලාකරුවන් කලා විෂයන් කලා කේෂ්ත්‍රයන් ඉතිහාසයේ කවදාවත් නොවූ විරූ ලෙස භයානක විදිහට අද කඩාගෙන වැටී ඇති බව පවසන ඒ මහතා චිත්‍රපට සංස්ථාව බෝඩ් ලෑල්ලකට සීමාවී ඇති බවද කියයි.

ටෙලිනාට්‍ය කලාව කඩා වැටීම පිළිබඳව අදහස් දක්වන සුදත් රෝහණ මහතා,

"ටෙලිනාට්‍ය ගත්තොත් සදාචාරය සාංස්කෘතිය වනසන ඉතාමත් දුර්වල පහත් අවර ගණයේ නිර්මාණ තමයි අද දකින්න ලැබෙන්නේ. කලාකරුවෝ කුලීකරුවෝ බවට පත්වෙලා. කලාකරුවන්ට අද තමන්ගේ වෘත්තීය කරන්න බැ. නාලිකාවල 80% කට වැඩි ගුවන් කාලයක් අහුරන්නේ විදේශ කොරියන් හින්දි දමිළ ටෙලි නාට්‍ය සඳහා".

"මේ තුලින් අපේ සංස්කෘතිය වන සනවා විතරක් නොවෙයි වෛරය ක්‍රෝධය ලිංගික සබඳතා අයතා සම්බන්ධතා තමයි හුවා දක්වන්නේ. සාහිත්‍ය සමාජයෙන් ඈත් වෙලා. විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය ධාරාව හරහා ළමයි විතරක් නෙවෙයි තරුණ වැඩිහිටි සියලුම දෙනා මේ ඛෙදවාචකයට ගොදුරු වෙලා. ඛේදවාචක කියන්නේ භූමිකම්පා, ගං වතුර, නායයාම්, සුනාමි වගේ දේවල් විතරක් නොවෙයි කලාව පිරිහීමේ ඛෙදවාචකය හැමදේටම වැඩිය භයානකයි. විනාශ කාරීයි.ඒ නිසා තමයි නිදහස් කලා සන්ධානය බිහි කළේ".

"අපේ රට අරාජික වෙලානම් දේශපාලන වශයෙන් වල්මත් වෙලා නම් දවසින් දවස රට ප්‍රපාතයට ඇදෙමින් තියනවා නම් එතනදී කලාකරුවන් විදිහට අපේ දේශපාලන භූමිකාව ඉටු කිරීමට මර්දනය හමුවේ උවත් නැගී සිටන්නට සූදානම් විය යුතුයි. 2015 දී මේ රටේ ජනතාව රවට්ටන්නට පෙන්නපු ඉන්ද්‍රජාලික රංගනය නිසා අද මුළු මහත් රටම ඛේදවාචකයක් පවට පත්වෙලා. රටේ ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකරපු මේ ආණ්ඩුව තමන්ව බලයට ගෙන්න හදපු විජාතික බලවේගවලට දුන්න පොරොන්දු ඉටුකරන්න තියෙන්නේ පුදුම හදිස්සියක්. "මේ ආණ්ඩුව තමන්ගේ මතයට එරෙහි හැමෝම මර්දනය කරනවා. එය දැක දැක නිහඩව සිටිය නොහැකි නිසයි අපේ දේශපාලන භූමිකාව කිරීම සඳහා අද පෙළ ගැහෙන්නේ".

මෙම අවස්ථාවට නිදහස් කලා සන්ධානයේ ලේකම් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, භාණ්ඩාගාරික රෝහණදේව පෙරේරා, ජාතික සංවිධායක ලාල් කුලරත්න, යන මහත්වරු හා ප්‍රවීණ කලා කරුවන් රැසක් හා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන , උතුරු මැද පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් මහතා ඇතුළු දේශපාලන අධිකාරිය නියෝජනය කරන්න විශාල පිරිසක් ද එක්ව සිටියහ.

 සටහන සහ ඡායා - සරත් දිසානායක - අනුරාධපුර

SUdath2

SUdath3

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top