Oct 26, 2018

කොරියානු තානාපති ජනපතිට ‘පැමිණිලි’ කළේ නෑ !

මෙරට මහා මාර්ග ආශ්‍රිතව නව නාගරික විදුලි පහන් පද්ධතියක් ස්ථාපිත කිරීමට දකුණු කොරියානු ණය ආධාර මත සිදුකිරීමට අනුමැතිය ලබා ඇති ව්‍යාපෘතියක් තුන්වසරක් පුරාවටම ප්‍රමාද වීම සම්බන්ධයෙන් තානාපතිවරයා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට පැමිණිලි කර නැතැයි වාර්තා වේ.

‘කොරියානු තානාපති ඇමැත්තෙක් ගැන ජනපතිට පැමිණිළි කරලා’ යන ශීර්ෂය යටතේ පසුගිය 21දා ‘ශ්‍රී ලංකා මිරර්’ විසින් පළ කළ පුවත සම්බන්ධයෙන් මෙරට කොරියානු තානාපති කාර්යාලය අප වෙත කරුණු පැහැදිලි කරමින් මේ බව සඳහන් කර සිටියි.

දේශය පුවත්පත උපුටා දක්වමින් පළ කර මෙම පුවතේ දැක්වෙන පරිදි ‘පැමිණිලි කිරීමක්’ සිදුනොවුනු බවත්, පමා වී ඇති මෙම ව්‍යාපෘතිය කඩිනමින් සක්‍රීය කිරීමට සහයෝගය ලබාදෙන ලෙස තානාපතිවරයා ඉල්ලා සිටි බවත් කොරියානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආයෝජන ව්‍යාපෘති සඳහා එක්වීමට කීර්තිමත් කොරියානු සමාගම් ඉතා උනන්දුවෙන් පසුවන නමුත් මෙවැනි ප්‍රමාදවීම්, එම උනන්දුවට බලපාන බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

කොරියාව හා ශ්‍රී ලංකාව අතර වසර ගණනක් පුරා ඉතා යහපත් ද්වීපාර්ශික සබඳතා පවතින අතර, මෙරට සංවර්ධන හා ආයෝජන ව්‍යාපෘති රැසකට සම්බන්ධ වී සිටියි.

සබැඳි පුවත් :
කොරියානු තානාපති ඇමැත්තෙක් ගැන ජනපතිට පැමිණිළි කරලා 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top