Oct 26, 2018

දුටුගැමුණු නමින් මර්වින් ජනාධිපතිවරණයට

ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධයන් වෙනුවෙන් ජනාධිපති ධුරයට තරග කරන බව හිටපු අමාත්‍ය හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මර්වින් සිල්වා මහතා පවසයි.

ඒ අනුව රටේ විශාල වෙනසක් ඇති කරන බව පවසන ඒ මහතා දිව්‍යලෝකේ වැඩ සිටින මේ රට හදපු වීර දුටුගැමුණු මහරජතුමාගේ නමින් ඒ සඳහා පෙනී සිටින බව කියයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර යොවුන් නිකේතනයේ පැවැති වීර දුටුගැමුණු සංවිධානයේ මංගල රැස්වීමට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මම දුටුගැමුණු මහ රජතුමා උපන්න රුහුණේ තිස්සමහාරාමයේ මන්ත්‍රිවරයා. මගේ ගම බෙලිඅත්ත. මම සැතපුම් 50ක් දුර ගිහින් තමයි මන්ත්‍රි වුණේ. දුටුගැමුණු මහරජතුමා උපන් බිමේ කාවන්තිස්ස රජතුමා හදපු මහා විහාරය තිස්සමහාරාමයෙන් තමයි මගේ ගමන මං පටන් ගත්තේ.

"මට දුටුගැමුණු මහ රජුගේ මෑණියෝ වන විහාර මහා දේවිය සිටි කැලණියේ මන්ත්‍රිවරයා වෙන්න වාසනාව ලැබුණා. ජටාලතිස්ස මහ රජතුමා දුටුගැමුණු මහ රජතුමාගේ මීමුත්තා ඉදිකළ කැලණිය තොරණ හංදියේ වසර දහස් ගණනකට පස්සේ මට පුළුවන්වුණා තොරණක් හදන්න. කැලණිය මහ නායක හාමුදුරුවෝ මට හද බැඳගෙන ආදරේ කරන්නේ කැලණියේ මා කරපු වැඩ නිසයි".

"මුදල් හම්බ කිරීමේ චේතනාවක් මට නෑ. හොර මැරකම් වංචා දූෂණ නැහැ. පළිගැනීම් නැහැ. වෛරයක් නෑ. අනුරාධපුරේට ඇවිත් මා මගේ මිනිසුන් සමඟ ඒකරාශී වෙනවා. ඔබලාගෙන් මා ගෞරවයෙන් එක ඉල්ලීමක් කරනවා. මාව විකුණන්න, මාව උකස් තියන්න හදන්න එපා".

මේ අතර එසේම මර්වින් සිල්වා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහුට ඡන්ද 3ක් වත් ලබාගත නොහැකි බවට තමන් අභියෝග කරන බව ප්‍රාදේශීය සංවර්ධන, තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top