Dec 04, 2018

ජනාධිපතිගේ නියෝගය අභියෝගයට ලක්කෙරෙන පෙත්සම් විභාගය අද

පසුගිය නොවැම්බර් මස 09 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (04) විභාගයට ගැනේ. ඒ, විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේය.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ , ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගයට ගනී.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ශ්ව 13ක් විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.

පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීම තාවකාලිකව වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය නොවැම්බර් මස 13වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ, ලබන 7 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදිය.

ඒ අනුව අදාළ පෙත්සම් අද, හෙට (05) සහ අනිද්දා (06) විභාගයට ගැනේ.

මේ අතර මෙම ගැසට් පත්‍රයේ සඳහන් ආකාරයට ඉදිරි කටයුතු සිදු කිරීම වළකාලමින් මැතිවරණ කොමිෂන් සභාවට ද ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එම නියෝගය ද දෙසැම්බර් මස 7 වැනි දා තෙක් බලපැවැත්වෙනු ඇත.

 

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top