Oct 21, 2021

තිරූ නඩේසන් යැයි කෙනෙක් මන්ත්‍රී චමින්දට තර්ජනය කරලා!

තමන්ට පසුගිය 10 වැනිදා දහවල් තිරු නඩේසන් නමින් දුරකථන ඇමතුමක් ලබා දුන් අයෙක් තර්ජනය කළ බව පවසා ඒ පිළිබඳව විමර්ශණය කරන ලෙස මාදිවෙල පොලිසියට කළ පැමිණිල්ල මෙතෙක් විභාගයට නොගත් බව බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා අද (21) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
 
ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසද ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

මේ පිළිබඳව තමන් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනුණත් ඊට දින කිහිපයකට පසු තමා ඇමතූ අග්‍රමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත් ලොකුබණ්ඩාර තමාගෙන් තිරු කතා කළා දැයි විමසු බවත්, එයින් එසේ කතා කර ඇත්තේ තිරු නඩේසන් බව තහවුරු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා

"පසුගිය සැප්තැම්බර් 10 වැනිදා 12.33 ට විතර මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවා. එහි අංකය 0767204126. ඔහු කතා කරල චමින්ද මන්ත්‍රිතුමාද මම තිරු නඩේසන් කියල කිව්වා. ඔයා මා ගැන හොඳට පාර්ලිමේන්තුවේ කතා කළා නේද කියල ඇහුවා. එහෙම අහල බොහොම හොඳයි කියල හිනාවෙලා දුරකථනය විසන්ධි කළා.

මම පැන්ඩෝරා පේපර්ස් ගැන පාර්ලිමේන්තුවේ කතා කළා. මම කළ කතාව පුවත්පත්වල පළවෙලා තිබුණා. මම එහිදී කිව්වා තිරු නඩේසන්ට පැනමා බැංකු ගිණුමක ඩොලර් මිලින 160ක වත්කම් තිබෙනවා, එයින් වසර පන්සියයක් පුරා මාසයකට කෝටියක් ගානේ වියදම් කරල ජීවත් වෙන්න පුළුවන් කියල. මේ කතාවෙන් පසුව තමයි මේ පුද්ගලයා කතා කළේ.
 
හිනාමුසු මුහුණින් ඔහු දුරකථනය විසන්ධි කළ ආකාරය තුල යම් තර්ජනාත්මක බවත් තිබෙන නිසාත් මේ කතා කලේ කවුද යන්න නොදැන සිටි නිසාත් මම මාදිවෙල පොලිසියේ පැමිණිල්ලක් (සී.අයි.බී 117/148) දැම්මා. මේ පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන ඇතිදැයි අප දන්නේ නෑ. නමුත් ඊට දින හතකරකට පස්සේ උදිත් ලොකු බණ්ඩාර කතා කරල චමින්ද අයියේ තිරු නඩේසන් ඔයාට කතා ඛලාද කියා මගෙන් ඇසුවා. පාර්ලිමේනතු මන්ත්‍රිවරයකු ලෙස තමන් මේ සියල්ල පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිනවා.” යයි ඔහු පැවසීය.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top