Dec 01, 2021

අයවැය විවාදයේ මුදල් ඇමති ඉන්දියාවේ; කථානායක ජනපතිට පාර්ලිමේන්තු එන්න කියයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන්දියාව බලා පිටත්ව ගිය මුදල් අමාත්‍යවරයා එරට නව දිල්ලි අගනුවර වෙත ළඟා වී ඇති බවයි.

එරටට ළඟා වූ මුදල් අමාත්‍යවරයා පිළිගනු ලැබ ඇත්තේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් බවද පැවසේ.

ණය පදනම මත ඩොලර් බිලියන එක හමාරක මුදලක් ඉන්දියාවෙන් ලබා ගැනීමට සඳහා සාකච්ඡා කිරීමට බැසිල් මහතා මෙසේ ඉන්දියාවට ගොස් සිටින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ මහතා ඉන්දීය විදේශ ඇමති මෙන්ම අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා ද හමුවීමට ඉල්ලුම් කර ඇති බව පැවසේ.

කෙසේවුවද, සිය මංගල අයවැය ඉදිරිපත් කළ බැසිල් රාජපක්ෂ මහතා අයවැය විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අවස්ථාවේ විදේශගතවීම සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයෙන් දෝෂාරෝපණ එල්ලවී ඇතැයි වාර්තා වේ.

අද (01) අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 16න් 8 වැනි දිනයයි.

ජනපතිට හැමදාම පාර්ලිමේන්තු එන්නැයි කථානායක දන්වයි!

මේ අතර, ඊයේ (30) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැමදාම පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවන ලෙස දන්වන්න වන බවයි.

කථානායකවරයා මේ බව පැවසුවේ ජනාධිපතිවරයා සිටින දිනවලදී පමණක් සියලු ඇමැතිවරුන් පාර්ලිමේන්තු සභා ගැබෙහි සිටින බව කියමිනි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරා යාම නිසා රටේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අදහස් දක්වන අවස්ථාවේදී සභා ගැබෙහි ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ ආසනවල ඇමැතිවරුන් කිසිවෙකුත් නොසිටීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දුට සිය කනස්සල්ල ප්‍රකාශ කරමන් කථානායකවරයා මේ බව කීවේය.

‘මේ අවස්ථාවේ මා ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමාගේ අවධානය යොමු කරවනවා. ඉදිරි පෙළ ආසනවල ඔබතුමාගේ දෙපැත්තේ ඇමැතිවරුන් කිසි කෙනෙක් නැහැ. ඒක බොහොම කනගාටුදායක තත්ත්වයක්. මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණාම උත්තර දෙන්න සභාවේ සිටින සියලු දෙනාම වගකිව යුතුයි. ඒ ගැන අවධානය යොමු කරන්න. මේ සාමුහික වගකීමෙන් ඉවත් නොවී තමන්ගේ වගකීම් ඉටු කළොත් හොඳයි ” යැයි කථානායකවරයා පැවැසුවේය.

සබැඳි පුවත්

ආණ්ඩුවේ හිස් මුල්පෙළ අසුන් ගැන කතානායක කණගාටුවෙන්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top