Apr 05, 2022

තාමත් බහුතරය පොහොට්ටුවටයි; අගමැතිකමට නම් දෙකක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 42ක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව අද (05) ප්‍රකාශ කිරීමෙන් පසුව ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතරය අහිමිවුවද, තවමත් සරල බහුතර ඔවුන් සතුව පවතී.

ඒ අනුව මේවන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ආසන 117ක් හිමිව ඇති අතර ඔවුන්ගේ බහුතරය මන්ත්‍රීධූර 05 ක් මත රැඳී තිබේ.

අද (05) පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදී විමල් වීරවංශ මහතා ඇතුළුව ආණ්ඩුවේ සිටි සුළු පක්ෂවල 15 දෙනෙක් ස්වාධීන වන බව ප්‍රකාශ කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළුව ස්වාධීන වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණන 14 කි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 09 දෙනෙක්, ආණ්ඩුව සමග සිටි අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්.මුෂාරෆ්ලංකා කම්කරු කොංග්‍රසයේ දෙදෙනෙක් සහ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව සිටින බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර අද පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව හෙට සහ අනිද්දා දෙදින පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමටය.

කෙසේවුවද, දැනට වත්මන් පාර්ලිමේන්තුව තුළ දෙවැනියට වැඩිම ආසන සංඛ්‍යාව හිමිව ඇත්තේ සමගි ජන බලවේගයට වන අතර, මේවන විට ඔවුන්ට පක්ෂව සිටින මන්ත්‍රීවරු ගණණ 47කි.

ඔවුන් මේවන විටත් හවුල් ආණ්ඩුවක් හැදීම ප්‍රතික්ෂේප කර සිටින අතර ඔවුන් කියා සිටින්නේ කඩිනම් පාර්ලිමේන්තු මැතිවරණයකට යන ලෙසයි.

මේ අතර, හෙට දිනයේදී අන්තර්වාර රජයේ අගමැතිවරයි ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ නම් ඉදිරිපත් විය හැකි බවට ද දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිර තිබේ.

විමල් වීරවංශ මහතා ඇතුළුව ආණ්ඩුවේ සිටි සුළු පක්ෂවල හා අද ස්වාධීන වූ මන්ත්‍රීවරුන් විසින් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කරනු ඇතැයි පැවසේ.

සබැඳි පුවත් :

මහින්ද අගමැතිකම අතහරියි; නව අගමැති ඩලස්?; විමල්ලත් ආණ්ඩුවට

හෙට අලුත් ආණ්ඩුවක්: ඒකත් පරණ ආණ්ඩුවේ හවුලක් !

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top