Nov 04, 2016

තිස්සට ඇප නෑ : දෙසැම්බර් 05දා තෙක් රිමාන්ඩ්

පසුගිය ජනාධිපතිවරණ සමයේ කූඨ ලේඛනයක් ප්‍රසිද්ධ කළැයි රිමාන්ඩ් බාරයේ සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු ලේකම් තිස්ස අත්තනායක මහතා ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතීඥවරුන් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (04) ප්‍රතික්ෂේප කළාය.

ඒ අනුව ඒ මහතා දෙසැම්බර් 05 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසද නියෝග කෙරුණි.

පසුගිය ජනාධිපතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ දෙමල ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට අසත්‍ය ලේඛනයක් මහජනයා අතර ප්‍රසිද්ධියට පත්කිරීම තුළින් තිස්ස අත්තනායක ජාතින් අතර සුහදතාව බිඳ දැමීමට උත්සාහ කළ බවත් ඒ තුළින් ඔහු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් පවසමින් නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

මෙම පනත යටතේ විත්තිකරුට ඇප නියම කළ හැක්කේ සුවිශේෂ කරුණු තිබේනම් පමණක් බව අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිවේදියා අධිකරණයට දන්වා සිටියේය.

එහිදී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුව ද එය මෙතෙක් රජය මගින් බලාත්මක කර නොමැති බව විත්තිය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා එහිදී පැවසීය.

මේ නිසා විත්තිකරුට එරෙහිව එම පනත යටතේ නඩු පැවරිය නොහැකි බව කියා සිටි ඔහු, විත්තිකරු සාක්කිකරුවන්ට කිසිදු බලපෑමක් කර නොමැති බවද පෙන්වා දුණි.

එබැවින්, මෙම කරුණු සුවිශේෂ කරුණු සේ සළකා විත්තිකරුට ඇප නියම කරන මෙන් ඉල්ලා සිටියේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top