Jul 05, 2022

LPL ක්‍රීඩක ලයිස්තුගත කිරීම අද; ජැෆ්නා කිංග්ස්ට වනිඳු වෙනුවට දුනිත් Featured

එල්.පී.එල්. හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 03 වන අධියරේ ක්‍රීඩක ලැයිස්තු ගත කිරීම අද (05) සිදුකිරීමට නියමිතය.

විදේශීය ක්‍රීඩකයන් 180 දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයන් 173 දෙනෙකු ඊට ඇතුළතව සිටිති.

මෙවර තරගාවලියේ එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 20 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 14 දෙනෙකු ලාංකික ක්‍රීඩකයන් වන අතර අනෙක් 06 දෙනා විදේශීය ක්‍රීඩකයන් විය යුතුය.

ලාංකික 04 ක් සහ විදේශික 02 ක් ලෙස අතිරේක ක්‍රීඩකයන් තබා ගැනීමට ද කියාව තිබේ.

මෙවර එල් පී එල් තරගාවලිය ලබන 31 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

වනිඳු වෙනුවට දුනිත්...

මේ අතර පිට පිටම දෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ ශූරතාව දිනාගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඉවත්වීමට අවසර ඉල්ලා ඇති බවට මාධ්‍ය වාර්තා පලව තිබේ.

ඔහු මෙවර තරගාවලියේ කැන්ඩි වොරියර්ස් පිල සමඟින් එක්වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ ඉල්ලීම සලකා බැලූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වනිඳු හසරංගගේ තීරණයට එකඟතාව පළකොට ඇතැයි ද වාර්තා වේ.

අයිපීඑල් මෙගා වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 10 යි ලක්ෂ 75 කට අලෙවි වූ 24 හැවිරිදි වනිඳු හසරංග නිමාවූ එම තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිලට ක්‍රීඩා කරමින් දස්කම් දැක්විය.

එහිදී දෙවැනි වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයා වෙමින් තරගාවලියේ හොඳම ක්‍රීඩකයන් දසදෙනා අතර 8 වැනි ස්ථානයේ පසුවිය.

මෙයට මාස කිහිපයකට පෙර අයිසීසී විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 සිටි ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග මේ වන විට එහි 6වැනි ස්ථානයට පත්ව සිටී.

කෙසේවුවද, වනිදු ජැෆ්නා කිංග්ස් හැර යද්දී ඒ වෙනුවට මේවන විට ජනප්‍රිය යොවුන් ක්‍රිකට් තරුවක් වන දුනිත් වෙල්ලාලගේ ජැෆ්නා කිංග්ස් පිලට එක්කර ගැනීමට සූදානම්වන බව වාර්තා වේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු හා දෙවැනි අදියරවලදී තරගාවලි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රවීන් වික්‍රමරත්න මහතා වෙනුවට මෙවර නව තරගාවලි අධ්‍යක්ෂවරයා ලෙස සමන්ත දොඩන්වෙල මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයකු වන දොඩන්වෙල මහතා ක්‍රිකට් ආයතනයේ තරගාවලි අධ්‍යක්ෂවරයා ද වේ.

හිටපු පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන සමන්ත දොඩන්වෙල මහතා වසර 1991 සිට 1997 දක්වා කාලය තුළ එස්එස්සී ක්‍රීඩා සමාජය නියෝජනය කළ අතර, ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමටද ක්‍රීඩා කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top