Jul 05, 2022

තුර්කි ගුවන් යානයක් කටුනායකදී අනතුරකට (ඡායා) Featured

තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ දී ඊයේ (04) අනතුරකට ලක්වී තිබේ.

ඒ 330 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර එම ගුවන්යානය තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට භාණ්ඩ තොගයක් රැගෙන ඊයේ (04) රාත්‍රී 09.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.

මෙට්‍රික් ටොන් 45 ක් බරැති ඇගලූම් තොගයක් රැගෙන එය ඊයේ රාත්‍රී 11.30 ට පමණ නැවතත් කටුනායක ගුවන් තොටුපළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යාමට සූදානම් වෙමින් තිබියදී මේ අනතතුර සිදුව ඇත.

මෙම ගුවන් යානයට පැටවීම සදහා රැගෙන විත් තිබූ බහාලූමක් නිසි පරිදි තිරිංග නොයොදා අදාළ ගුවන් යානය අසළ නවතා තබා ඇති අතර එම බහාලූම ගුවන් යානයේ ඇංජිමක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

හානියට පත් වූ ඇංජිම යථා තත්වයට පත් කර ගැනීමට හෝ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට අවශ්‍ය පියවර තුර්කි ගුවන් සේවා බලධාරීන් විසින් මෙතෙක් ගෙන නැතැයි ගුවන් තොටුපල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Turkey

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top