Aug 14, 2022

"චීනයේ සියලු ඇදහිය නොහැකි ජයග්‍රහණ කොමියුනිස්ට් පක්ෂය නිසයි"

චයිනා පබ්ලික් ඩිප්ලොමැසි ඇසෝසේෂන් - CPDA (China Public Diplomacy Association (CPDA) විසින් සංවිධානය කරනු ලබන චයිනා ඉන්ටර්නැෂනල් ප්‍රෙස් කමියුනිකේෂන් සෙන්ටර් - CIPCC (China International Press Communication Center (CIPCC) 2022 මාධ්‍ය වැඩසටහන පසුගිය සිකුරාදා (12) නිල වශයෙන් ආරම්භ කරනු ලැබිණි.

එහි සමාරම්භක උත්සවය Diaoyutai State Guesthouse හි පැවැති අතර චීන විදේශ කටයුතු සහකාර අමාත්‍ය හා එම අමාත්‍යංශයේ ප්‍රකාශිකාව වන හුවා චුන්යිං (Hua Chunying) මහත්මිය එහි ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගී විය.

මෙම අවස්ථාවට CPDA හි සභාපති වන වූ හයිලොං මහතා, තානාපති කාර්යාල වල නිලධාරීන් ඇතුළු විශාල පිරිසක්ද සහභාගී විය.

CIPCC තුළ අනු මාධ්‍ය මධ්‍යස්ථාන 6ක් පවතින අතර, ඒ ආසියාව (CAPPC : China-Asia Pacific Press Center), අප්‍රිකාව (CAPC : China-Africa Press Center), ලතින් ඇමරිකාව (China-Latin America Press Center), කැරීබියන්, අරාබිය මෙන්ම මධ්‍යම හා නැගෙනහිර යුරෝපය වශයෙනි.

මේ සඳහා සහභාගී වන මාධ්‍යවේදීන්ට චීනයේ රෙන්මින් විශ්ව විද්‍යාලය හරහා එරට දේශපාලනය, ආර්ථිකය, රාජ්‍යතාන්ත්‍රිකත්වය, ඉතිහාසය, සමාජය සහ සංස්කෘතිය පිළිබඳ දේශන මාලාවක්ද සපයනු ඇති අතර, ඊට අමතරව චීනයේ විවිධ පළාත් වල හා එරට ප්‍රමුඛ සමාගම් වල සංචාර කිරීමට අවස්ථාවත්, චීන සංස්කෘතික අංග පිළිබඳ දැනුමක්ද ඔවුන්ට ලැබේ.

වසර 2014 සිට සංවිධානය කෙරෙන මෙම වැඩසටහන කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය දෙවසර තුළ අන්තර්ජාලය ඔස්සේ වැඩසටහන් වලට සීමා විය. ඒ අනුව, වසර 2019න් පසුව එම වැඩසටහන සාමාන්‍ය ලෙස ආරම්භ කිරීමට කටයුතු කර ඇත්තේ දෙවසරකට පසුවයි.

වසර 2014 සිට 2019 දක්වා රටවල් 104කට ප්‍රමාණයකින් මාධ්‍යවේදීන් 283 දෙනෙකු මේ වැඩසටහනට එක්වී තිබේ.

CAPPC අධ්‍යක්ෂක - යූ ලෙයි මහතා සඳහන් කරන්නේ මාස 6ක කාලයක් පැවැත්වෙන මේ වැඩසටහන, අනෙකුත් රටවල මාධ්‍යවේදීන්ට චීනය පිළිබඳ පුළුල් හා ගැඹුරු අවබෝධයක් ලබා දීමේ අරමුණ ඇතිව සංවිධානය වූවක් බවයි. මේ වසරේදී රටවල් 60කින් මාධ්‍යවේදීන් 90දෙනෙකු මේ වැඩසටහනට එක්වනු ඇති බවද ඔහු කියා සිටියි.

CIPCC 3

චීනය ගැන ලෝකයේ මත 2ක්...
සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වූ චීන විදේශ කටයුතු සහකාර අමාත්‍ය හා එම අමාත්‍යංශයේ ප්‍රකාශිකාය වන හුවා චුන්යිං (Hua Chunying) මහත්මිය කියා සිටියේ මේවන විට ලෝකයේ, චීනය පිළිබඳ මත දෙකක් ඇති බවත්, එකක් තර්ජනය හා අභියෝගය බවත්, අනෙක බලාපොරොත්තුව සහ අවස්ථාව වන බවත්ය.

චීන ජාතිකයන් අතර වුවද, චීනය ගැන සියයට සියයක්ම දන්නා බව පැවසිය හැක්කේ ඉතා සුළු පිරිසක් බවද ඇය කීවාය. වර්ග කි.මී. මිලියන 9.6 කට වැඩි භූමි ස්කන්ධයක්, බිලියන 1.4 කට වැඩි ජනගහනයක් සහ වසර 5,000 ක ඉතිහාසයක් සහ ශිෂ්ටාචාරයක් ඇති සමස්ථ චීනයම සාරාංශ කිරීමට සරල වචන කිහිපයක් ප්‍රමාණවත් නොවන බවද ඇය කීවාය.

තමාගේ සම වයසේ අය හැදී වැඩුණේ චීනයේ ප්‍රතිසංස්කරණ සමග හා චීනය ක්‍රමයෙන් ලෝකයට විවෘත වීමේ ක්‍රියාවලිය සමඟින් බවත්, චීනය ලොව අඩුම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයක් ඇති රටක සිට දෙවැනි විශාලතම ආර්ථිකය දක්වා දියුණු වූ ආකාරය සහ මිලියන 800 කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මිදී දැන් යහපත් ජීවිතයක් ගත කරන ආකාරය ඔවුන්ට දැකගත හැකිවූ බවත් ඇය සඳහන් කළාය.

CIPCC 1

ඇය වැඩිදුරටත් මෙසේද කීවාය.

චීන අවුරුද්ද එදා අවුරුද්දටම එකයි; අද හැමදාමත් අවුරුදු
" මම පුංචි කාලේ චීන අලුත් අවුරුද්ද එනකල් ගොඩක් ආසාවෙන් බලන් හිටියා, මොකද මට ඌරු මස් කන්න, අලුත් ඇඳුම් ඇඳින්න, සල්ලි තියෙන රෙඩ් පැකට් ලැබෙන්නේ එදාට. මට සාමාන්‍යයෙන් එක පැකට්ටුවක ජිආඕ (jiao) දෙකක් ලැබුණා, එය යුවාන් එකක විටිනාකමෙන් පහෙන් එකක්. ගොඩක් වාසනාවන්ත නම්, මට ජිආඕ පහක් ලැබෙනවා...ඒක යුවාන් භාගයක වටිනාකම. ඒත් ඒ කාලයේ යුවාන් 20ක - 50ක වටිනාකමක්. එය ඒ කාලයේ දරුවෙකුට නිසැකවම විශාල මුදලක්... ඒ මුදල් ඒවා වියදම් කරන්න අකමැති මං ඒවා පොත් වල පිටු අතර දානවා...අනාගත දවසක ඒ පොත පෙරළූ මට නිධානයක් ලැබුණා වැනි සතුටක් ඇති වෙනවා..."

"ඒත් අද, මගේ දුවට සහ ඇගේ යහළුවන්ට හැමදාමත් අවුරුදු වගේ... අප ළමා කාලයේ මගේ දෙමාපියන් මට ලබා දුන් සරල සතුට ඇයට දෙන්න අමාරු බව මට දැනෙනවා..."

"අපට දැන් ස්මාර්ට් ජංගම දුරකතනයක් හරහා එසැණින් රසවත් කෑමක් ඇණවුම් කර, පැය භාගයකින් එය ලබාගන්න පුළුවන්... ඇප් යෙදවුමකින් කුලී රථයක් වෙන්කරවාගෙන අපට කැමැති ඕනෑම තැනකට යන්න පුළුවන්. මේ" අතීත කතා වල සිටි ධනවතුන්ගේ ජීවිතය වගේ වෙන්න ඇති කියා මට හිතෙනවා... ඒ නිසා වෙන්න ඇති මගේ දියණියගේ පරපුරට අදහාගන්නට අමාරු වන්නේ මගේ දෙමව්පියන්ගේ පරපුර බයිසිකලය, මහන මැෂිම භාවිතා කරන්නේ ඇයි කියලා. මං මුලින්ම ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතා කළේ අවුරුදු 10කට ඉහතදී. ඒ, බ්‍රසල්ස් නුවර මගේ රැකියාවට ගිය අවස්ථාවේදී. ඒත් දැන් කිසිම කාඩ්පතක් ගෙනයන්න අවශ්‍ය නෑ... මන්ද ස්මාර්ට් දුරකථනයකින් ඒ හැම දේම කරන්න පුළුවන් නිසා..."

අපි “සඳ වෙනුවෙන් අහසටත් කැස්බෑවන් වෙනුවෙන් ගැඹුරු මුහුදටත් ගියා"

"පසුගිය දශක කිහිපය තුළ චීනය ලබාගත් සංවර්ධන ජයග්‍රහණ ඉතා විශිෂ්ඨයි. චීන කවියක තියෙනවා “සඳ වෙනුවෙන් අහසටත් කැස්බෑවන් වෙනුවෙන් ගැඹුරු මුහුදටත් ගියා", (“been to the heavens for the moon and to the deep sea for the turtles”) කියලා..."

අද වන විට කාන්තා ගගනගාමීන් දෙදෙනෙක් අභ්‍යවකාශයට ගමන් කර ඇති බව පැවසූ හුවා මහත්මිය, මෙය චීන ජනකතා වලට අනුව සඳට පියාසර කළ Chang'e දෙවඟනගේ සැබෑ ජීවිතයේ අනුවාදය බව පෙන්වා දුන්නාය.

"අධිවේගී දුම්රිය ජාලය රට පුරා බොහෝ දුර ගමන් එක් දින සංචාර බවට පත්කර තිබෙනවා. අද චීනයේ සිදුවෙමින් පවතින මෙම අසිරිමත් පරිවර්තන, මෙසේ සිදුවේයැයි මීට වසර දහයකට හෝ පහකට පෙර හොඳම නවකතාකරුවෙකුට පවා සිතාගැනීමට නොහැකි වන්නට," ඇතැයිද ඇය පැවසුවාය.

මේ සියලු ඇදහිය නොහැකි ජයග්‍රහණ CPC ය නිසයි
මේ සියලු ඇදහිය නොහැකි ජයග්‍රහණ පිටුපස ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) යැයිද කී ඇය, පසුගිය වසරේ සිය පක්ෂයේ ශත සංවත්සරය සැමරූ බවද මතක් කළාය.

චීන කොමියුනිස්ට් පක්ෂය, සාමාජිකයින් 50කට වැඩි සංඛ්‍යාවක් සිටි කුඩා පක්ෂයක සිට, මිලියන 96ක සාමාජිකත්වයක් සහිතව ලොව විශාලතම පාලන පක්ෂය දක්වා මේවන විට වර්ධනය වී ඇතැයි ද ඇය කීවාය.

ඇය වැඩිදුරටත් මෙසේද කීය.

"විදේශ ආක්‍රමණිකයන් පලවා හැරීමට, යුද නායකයන් අතර ගැටුම් හා සිවිල් යුද්ධය අවසන් කිරීමට, ජාතික නිදහස ලබා ගැනීමට, ස්වෛරී රටක් නිර්මාණය කිරීමට, විදේශීය යටත්විජත බවට පත්වීම් සහ කුසගින්න යන්න අතීතයටම සීමා කිරීමට හා මධ්‍යස්ථ, සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට CPCය පසුගිය සියවස පුරා චීන ජනතාවට නායකත්වය දී තිබේ. නවීන සමාජවාදී රටක් කරා යන නව ගමනකට CPCය මේ වන විට චීනයට නායකත්වය ලබාදෙමින් සිටියි."

නිවසින් පිට නිවහනක්
මාස ගණනක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහනෙන් පසුව චීනය පිළිබඳ සැබෑ සහ සම්පූර්ණ චිත්‍රයක් සිය රටවලට ගෙන යා හැකි බවට තමා තුළ විශ්වාසයක් ඇතැයිද හුවා මහත්මිය කීවාය.

"චීනය සැමවිටම ඔබ සියල්ලන්ටම නිවසින් පිට නිවහනක් වනු ඇත. අනාගතයේදී යළිත් ඔබලා නැවත චීනයේ නේවාසික වාර්තාකරුවන් ලෙස දැකීමට බලාපොරොත්තු වෙමි," යැයිද ඇය වැඩිදුරටත් පැවසීය.

(සටහන : කැළුම් ශිවන්ත චීනයේ බෙයිජිං හි සිට)

CIPCC

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top