Aug 26, 2021

මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රීලනිපය මංගලට පිං පමුණුවයි; "මංගල අවංක මිත්‍රයෙක්"

හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාට පිං පැමිණවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සංවිධානය කළ ආගමික වැඩසටහනක් එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී අද (26) පස්වරුවේ පැවැත්විණි.

හිටපු ජනාධිපතිවරයා ඇතුළු පක්‍ෂ නියෝජිතයෝ පළමුව බෝධීන් වහන්සේ අභියස මල් පහන් පූජා කර අනතුරුව බෝධීන් වහන්සේ වෙත චීවරයක් ද පූජා කළහ.

අනතුරුව ආගමික වතාවත් සිදුකර පැන්වඩා මංගල සමරවීර මහතාට පිං පැමිණවීම සිදුකළහ.

ගංගාරාම විහාරාධිකාරී, ආචාර්ය කිරින්දේ අස්සජි ඇතුළු භික්‍ෂූන් වහන්සේලා සයනමක් මෙම ආගමික වතාවත් මෙහෙයවූ අතර පිංකම අවසානයේ දී උන් වහන්සේලා වෙත පිරිකර පූජා කිරීම ද සිදුකෙරිණි.

මංගල අවංක මිත්‍රයෙක් - හිටපු ජනපති

මංගල සමරවීර මහතාට පිං පැමිණවීමේ කටයුතුවලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් මෙන්ම ඇසුරු කළ අවංක මිත්‍රයෙක් වන මංගල සමරවීර මහතාට පිං පැමිණවීම වෙනුවෙන් මෙම පිංකම සංවිධානය කළ බවයි.

තමාගේ දැක්ම, දර්ශනය තුළ තමන් විසින් කිව යුතු දේ නොබියව ප්‍රකාශ කළ අයකු වන මංගල සමරවීර මහතා පිළිබඳ නොයෙක් විවේචන හොඳ නරක තිබුණත් ඔහු ඍජු ලෙස තම මතය ප්‍රකාශ කළ දේශපාලනඥයෙක් බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

දූෂිතයෙක් නොවන එතුමා වැනි රටට අවශ්‍ය දේශපාලනඥයකු අහිමිවීම ගැන අප ඔහුගේ හිතවතුන් ලෙස මෙන්ම පක්‍ෂයක් ලෙස ද කණගාටු වන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

239570627 10159226194411327 194578911718904486 n238642782 10159226193501327 2683934920860021444 n238153645 10159226193631327 7735526536440183450 n235800650 10159226195356327 1399917071949769273 n235756597 10159226194021327 6583658409041178685 n235181694 10159226194291327 2695572422102881928 n

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top