May 25, 2022

ගුජරාට් ටයිටන්ස් IPL අවසන් තරගයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්තාන් රෝයල්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර කල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගය කඩුලු 7 කින් ජය ගැනීමට ගුජරාට් ටයිටන්ස් පිල ඊයේ (24) සමත්විය.

ඒ අනුව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම බවට පත්වීමට ගුජරාට් ටයිටන්ස් පිලට හැකිවිය.‍

තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් පිල ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට රාජස්තාන් පිලට ආරාධනා කල අතර නියමිත පන්දුවාර 20 අවසානයේ රාජස්තාන් පිල කඩුලු 6 ක් දැවී ලකුණු 188ක් රැස් කළේය.

රාජස්තාන් ඉන්මේ වැඩිම ලකුණුලාභියා වුණු ජොස් බට්ලර් පන්දු 59 කදී ලකුණු 89 ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 කින් සමන්විත විය.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක සංජු සැම්සන් බට්ලර් සමග එක්ව ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර පන්දු 26 කට මුහුණ දෙමින් සංජු ලකුණු 47 ක් රැස් කළේය.

ඔහුගේ ඉනිම හයේ පහර 3ක් සහ හතරේ පහර 5 කින් අලංකාරවත් වූ අතර දෙව්දත් පඩික්කාල් ලකුණු 28 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී මොහොමඩ් ශාමි, යශ් දයාල්, රවිශ්‍රීනිවාසන් සායි ක්‍රිශෝර් සහ හාර්දික් පාණ්ඩ්‍යා කඩුල්ල බැගින් දවා ගත්තේය.

මේ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් පිල පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

වේගවත් පිතිහරඹයක නිරත වූ ඩේවිඩ් මිලර් පන්දු 38 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 68 ක් රැස්කළේය.

ගුජරාට් පිලට ජයග්‍රහනය සඳහා සිය අවසන් පන්දුවාරය තුලදී ලකුණු 16 ක් අවශ්‍ය වූ අතර පන්දු යැවූ ප්‍රසිද් ක්‍රිෂ්ණා අසරණ කරමින් මිලර් මුල් පන්දු 3 ටම පිට පිට හයේ පහර 3 ක් එල්ල කළේය.

දැවැන්ත 6යේ පහර තුනත් සමග මිලර් ඉතා පහසුවෙන්ම සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ තරගයේ වීරයා ලෙසද සම්මානය ලබමිනි.

මේ අතර ‍සිවුවැනි කඩුල්ල‍ වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 106 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමට මිලර් - පාණ්ඩ්‍යා සබඳතාවයට හැකිවුණු අතර නායක හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී ලකුණු 40 ක් රැස් කළේය. ඔහුගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය.

ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් සහ මැතිව් වේඩ් ලකුණු 35 බැගින් රැස්කරමින් ගුජරාට් කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය සැපයූහ.

රාජස්ථාන් පිල වෙනුවෙන් ටෙන්ට් බොල්ට් සහ ඔබෙඩ් මැකෝයි එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

මෙම තරගයේදී පරාජයට පත්වුවද, රාජස්ථාන් රෝයල්ස් පිල තරගාවලියෙන් ඉවත් ‍නොවන අතර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සඳහා ඔවුන්ට තවත් අවස්ථාවක් හිමිවනු ඇත.

ඒ සඳහා ඔවුන් පිළිමළුන් පිටුදැකීමේ තරගයේ ජයග්‍රාහකයන්ට එරෙහිව පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය ජයගත යුතුය.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (25) ලක්නව් සුපර් ජයන්ට්ස් පිල සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පැවැත්වීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top