Jun 27, 2022

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තරග අටේ අදායම මිලියන 160යි Featured

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පසුගිය දිනවල පැවැති විස්සයි-20 තරග තුනෙන් හා දිවා - රාත්‍රී එක්දින තරග පහෙන් ලැබී ඇති ප්‍රවේශපත්‍ර ආදායම රුපියල් මිලියන 160ක වැඩි බව වාර්තා වේ.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති විස්සයි-20 තරගයෙන් හා දිවා - රාත්‍රී එක්දින තරග දෙකෙන් රුපියල් මිලියන 42ක ආදායමක් ලැබී ඇතැයි පැවසේ.

එසේම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති විස්සයි20 තරග දෙකෙන් හා දිවා - රාත්‍රී එක්දින තරග තුනෙන් රුපියල් මිලියන 118ක් පමණ ලැබී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අවසන් එක්දින තරගයේ ප්‍රවේශපත්‍ර ආදායම පමණක් රුපියල් මිලියන 25ක් පමණ වී තිබේ.

35,000කට පමණ තරග නැරැඹිය හැකි ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති පස්වැනි එක්දින තරගයේ උපරිම ධාරිතාව ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙද්දී දිනක ප්‍රවේශපත්‍ර ආදායම රුපියල් මිලියන 20 සිට 25ක් පමණවන බවත්, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් තරගයක් පැවැත්වෙද්දී ප්‍රවේශපත්‍ර ආදායම රුපියල් මිලියන 10 සිට 15 දක්වා පමණ ලැබෙන බවත් එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

මේ ක්‍රිකට් තරගාවලියේ පැවැත්වුණු විස්සයි20 තරග තුනේ, දිවා - රාත්‍රී එක්දින තරග පහේ හා ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකේ සම්පූර්ණ ප්‍රවේශපත්‍ර ආදායම ජනතා සහන වෙනුවෙන් ඇති සහන අරමුදල වෙනුවෙන් රජයට පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කලින්ම ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා මහතා පැවසුවේ ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ උපදෙස් පරිදි ප්‍රවේශපත්‍රවල සියලු ආදායම් ක්‍රීඩා ඇමැති රෝෂාන් රණසිංහ මහතා හරහා මධ්‍යම රජය වෙත දීමට ක්‍රියා කරන බවයි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top