Jun 29, 2022

ක්‍රිකට් පිටියේ දඟකාරයාගේ නමට වෙන්වුණු ටෙස්ට් තරගය අදයි

සංචාරක ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මේ තරගය මීට මාස කිහිපයකට පෙර, හදිසියේ ජීවිතයෙන් සදහටම සමුගත් සුපිරි දඟ පන්දු ක්‍රීඩක ෂේන් වෝන්ට උපහාර පිණිස නම් කොට ඇත.

ක්‍රිකට් පිටියේ දඟකාරයා ෂේන් වෝන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ "ආදරණිය සතුරා" විය.

කෙසේ වුවද ටෙස්ට් තරග ඉතිහාසයේ කඩුලු 708ක් බිඳ හෙළා ගත් වෝන් 2004 වසරේ පැවැති ටෙස්ට් තරගාවලියේදී සිය 500 වැනි කඩුල්ල බිඳ හෙලුවේද ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී වීම විශේෂත්වයකි.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත වෝන් - මුරලි කුසලානය පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත. දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 31ක් ක්‍රීඩා කර ඇති අතර, එහි වැඩි වාසි ඔස්ට්‍රේලියාව සතුවේ.

මෙතෙක් පැවැති තරගවලදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 4ක් හා ඔස්ට්‍රේලියාව ටෙස්ට් තරග 19ක් ජය ලබා ඇති අතර, තරග 8ක් ජය පරාජයෙන් තොරව නිමාවී තිබේ. 1999දී පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකාව 1-0කින් හා 2016 වසරේ පැවැති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව 3-0කින් තරග ජයග්‍රහණය කොට ඇත.

ශ්‍රී ලංකා සංචිතය: දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිශ්ශංක, ඹෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මධුසංඛ, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, ජෙෆ්රි වැන්ඩර්සේ, අතිරේක : දුනිත් වෙල්ලාලගේ, ලක්ෂිත රසාංජන

ඔස්ට්‍රේලියා සංචිතය: පැට් කමින්ස් (නායක), ඇෂ්ටන් අගාර්, ස්කොට් බෝලන්ඩ්, ඇලෙක්ස් කෙරී, කැමරන් ග්‍රීන්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රෙවීස් හේඩ්, ජොෂ් ඉංග්ලිෂ්, උස්මාන් කවාජා, ඩේවිඩ් වෝනර්, මාර්නස් ලැබුස්චේන්, නේදන් ලියෝන්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, මිචෙල් ස්වෙප්සන්. අතිරේක: ජොස් හොලක්ඩ්, මැතිව් කූනේමන්, ටොඩ් මර්ෆි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top