Jul 04, 2022

විරෝධතාකරුවන් ඉවත් කරන්න අපි කිව්වේ නෑ - ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්

පන්දුවට පහරදෙමින් සිටින කණ්ඩායමට බාධාවක් වන බවට පවසමින් ගාලු කොටු පවුරේ සිටි ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන් ඉවත්කිරීම සමබන්ධයෙන් තමන් දැන නොසිටි බවට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් එරට මාධ්‍ය වෙත පවසා තිබේ.

ගාල්ල ක්‍රීඩාංගනයේදී ක්‍රිකට් තරග පැවැත්වීමේදී ගාලු කොටු පවුර මතට නරඹන්නන් රැස්වීම සාමාන්‍ය දසුනක් වන අතර, පසුගිය සතියේ පැවති පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදීද (29දා), එම ස්ථානයේ ආණ්ඩු විරෝධී පාඨ සහිත පුවරු රැගත් පුද්ගලයන් ද දක්නට ලැබුණි.

ආරක්ෂක අංශ වලින් ඔවුන්ව එදින බලහත්කාරයෙන් ඉවත්කර තිබුණු අතර, ටෙස්ට් තරගයේ තුන්වැනි හා අවසන් දිනයේදී ගාලු කොටු පවුර මත කිසිවෙකුත් දක්නට නොලැබුණි.

මේ සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණේ පිතිකරුවන්ගේ පෙනීමට බාධා වූ බැනර් විරෝධතාකරුවන් විසින් භාවිතා කරමින් සිටි බවත්, ඒවා ආරක්ෂක අංශ විසින් ඉවත් කළ බවයි.

කෙසේවෙතත්, මෙම බැනර් මගින් සංචාරක ඕස්ට්‍රේලියානු පිලේ පිතිකරුවන්ගේ අවධානය වෙනතකට යොමු වූ බවට ඇති වාර්තා, එම කණ්ඩායමේ ප්‍රකාශකයෙකු ප්‍රතික්ෂේප කර තිබේ.

ගාලු කොටු පවුර සත සිටි ප්‍රේක්ෂකයන් හේතුවෙන් හෝ ඔවුන්ගේ පුවරු හේතුරවන් තමන්ගේ පෙනීමට බාධා සිදුවූ බව යන්න, 'The Age' සහ 'The Sydney Morning Herald' වෙත අදහස් දක්වා ඇති ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් විසින් ද ප්‍රතික්ෂේප කර ඇත.

(සිඩ්නි මෝනින් හෙරල්ඩ් ඇසුරෙනි)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top