Dec 05, 2016

ඔස්ට්‍රියා ජනාධිපතිවරණය: දක්ෂිණාංශිකයා පරදියි

ඔස්ට්‍රියා ජනාධිපතිවරණයෙන් අන්ත-දක්ෂිණාංශික නිදහස් පක්ෂයේ නෝබට් හොෆර් පරාජය ලබා ඇත.

සිය පරාජය සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් නෝබට් කියා තිබෙන්නේ ප්‍රතිඵල අසා තමන් බලවත්සේ දුකට පත්වූ බවයි.

ජයග්‍රහණය ලැබූ හරිත පක්ෂයේ හිටපු නායක ඇලෙක්සන්ඩර් වැන් ඩර් බෙලන් මෙම ජයග්‍රහණය අර්ථදැක්වූයේ යුරෝපා සංගම් හිතවාදීන්ගේ ජයග්‍රහණයක් ලෙසයි.

තවද එය නිදහස, සමානාත්මතාවය හා සහයෝගය පිළිබඳ පණිවුඩයක් යැයි ද ඔහු කියා සිටියි.

රතු-සුදු-රතු තීරු වශයෙන් නිර්මාණය වී තිබෙන ඔස්ට්‍රියානු ධජය ඉදිරියේ ඔහු සිය ජයග්‍රහණය විස්තර මෙසේ විස්තර කළේය.

'බලාපොරොත්තුව සහ වෙනස පිළිබඳ රතු-සුදු-රතු සංඥාව අද දිනයේ ඔස්ට්‍රියාවේ සිට යුරෝපා සංගමයේ සියලූ අගනුවර වෙත විහිදෙනු ඇත..'

පසුගිය මැයි මාසයේ පැවති පළමු ජනාධිපතිවරණයේ දී, හරිත පක්ෂයේ හිටපු නායක ඇලෙක්සන්ඩර් වැන් ඩර් බෙලන් එක් ප්‍රතිශතයකින් මැතිවරණය ජයග්‍රහණය කළේය.

එහෙත් ඡන්ද ගණන් කිරීමේ දී අක්‍රමිකතා සිදු වී ඇති බවට චෝදනා එල්ල වීමත් සමග ඡන්ද විමසීම යළිත් පැවැත්වීමට තීරණය කෙරුණි.

දක්ෂිණාංශික රැල්ල :

නමුත් එතැන් පටන් මේ දක්වා ලෝක දේශපාලන තලයේ සිදුවූ බ්‍රෙක්සිට්, ඇමරිකාවේ ට්‍රම්ප් ජයග්‍රහණය යනාදී අනපේක්ෂිත වෙනස්කම් හේතුවෙන් බොහෝ අය බලාපොරොත්තු වූයේ ඔස්ට්‍රියාව ද අන්ත දක්ෂිණාංශිකයේ රැල්ලටම ගසාගෙන යනු ඇත කියා ය. නමුත් එසේ සිදුවූයේ නැත.

ඔස්ට්‍රියාව තුළ ජනාධිපති ධුරය නාමික ධුරයක් පමණක් වුවත් එය අපේක්ෂකයන් අයත් පක්ෂවල ජනප්‍රියත්වය උරගා බැලීමක් වශයෙන් සැලකේ.

මේ අනුව මුලු යුරෝපයම දක්ෂිණාංශික රැල්ලකින් වෙළී ගොස් තිබෙන අවධියක ඔස්ට්‍රියාවෙන් ලද මෙම ඡන්ද ප්‍රතිඵලය, ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් ලෝකය ලද ජයග්‍රහණයක් වශයෙන් සලකුණු වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top