Dec 06, 2016

ජයලලිතාගේ දේහය මිහිදන් කෙරෙයි (වීඩියෝ)

ඉන්දියාවේ බලවත් මෙන්ම ජනප්‍රියතම දේශපාලන නායිකාවක් වූ තමිල්නාඩුවේ මහ ඇමතිනී ජෙයරාම් ජයලලිතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ චෙන්නායි හි මරීනා වෙරළ තීරය ආසන්නයේදී සිදු කෙරිණ.

රැස්ව සිටි දස දහස් සංඛ්‍යාත පිරිසකගේ සෝ සුසුම් මධ්‍යයේ ආචාර වෙඩිමුර මැද එම කටයුතු සිදුවිය.

ඉරිදා රාත්‍රියේ හෘදයාබාධයකට ගොදුරු වූ හැට අට හැවිරිදි තමිල්නාඩු මහ ඇමතිනිය ඊයේ (දෙසැ.05) රාත්‍රියේ 11.30 ට අභාවප්‍රාප්ත වූ බව චෙන්නායි නුවර ඇපොලෝ රෝහල නිවේදනය කළේය.

ඉන්දීය ජාතික ධජයෙන් ආවරණය කෙරුණු ඇයගේ දේහය සහිත මංජුසාව මහජන ගෞරවය සඳහා පොදු ශාලාවක තැන්පත් කරනු ලැබ තිබිණ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි පිරිස අතර සිටියේය.

මහ ඇමතිනියගේ අභාවයත් සමග නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති විය හැකි බවට පවතින බිය හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තය තුළ අතිරේක පොලිස් භට කණ්ඩායම් යොදවා තිබිණ.

හිටපු ජනප්‍රිය සිනමා නිළියක වන ජයලලිතා සිව් වතාවක් තමිල්නාඩුවේ මහ ඇමති පදවිය හෙබැවූ අතර, ප්‍රාන්තයේ බොහෝ දෙනා ඇය දේවත්වයෙන් පුදති.

'අම්මා' යන විරුදාවලිය ලත් ජයලලිතා මහ ඇමතිනියගේ අභාවය දරාගත නොහැකිව ඇයගේ ආධාරකරුවන් ජීවිත හානි කර ගැනීමට හෝ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම්වලට යොමු වෙතැයි බිය පළ විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top