Oct 03, 2021

ලංකාවත් ගෑවුනු කාර් ඩීල් එක බරපතල වරදක් බව පැපුවා නිව් ගිනියාව පිළිගනියි

කලාපීය නායකයන්ගේ සමුළුවකදී භාවිතා කිරීමට ඩොලර් මිලියන 5.6ක් වටිනා සුඛෝපභෝගී රථ පෙළක් ආනයනය කිරීම, බරපතල වරදක් බව පැපුවා නිව් ගිනියාව පිළිගෙන තිබේ.
 
වසර 2018දී පැවැත්වුණු ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුව (APEC) වෙනුවෙන් පැපුවා නිව් ගිනියාව මෙලෙස අධික මුදලකට Maserati මෝටර් රථ මිලදී ගෙන තිබුණේ ශ්‍රී ලංකාවේ අලෙවිකරුවෙකු හරහාය. එම මෝටර් රථ ජම්බෝ ජෙට් යානයකින් එරටට ගෙනගොස් තිබුණි.
 
එවකට සිටි APEC ඇමතිවරයා පවසා තිබුණේ සාමාන්‍ය APEC සමුළුවකදී රාජ්‍ය නායකයන් හට ලබාදෙන ප්‍රමිතියේ මෝටර් රථ ලබාදීමට මෙම Maserati රථපෙළ සමත් වනු ඇති බවත්, සමුළුවෙන් අනතුරුව ඒවා උණු කැවුම් ලෙස විකිණෙනු ඇති බවත්ය. 
 
කෙසේවෙතත්, මෙම මෝටර් රථ පෙළ APEC සමුළුව අවසානයේ සිට මේ දක්වා පැපුවා නිව්ගිනියාවේ පෝට් මෝස්බි අගනුවර පිහිටි ගබඩාවක් තබා ඇති අතර, ඒවා කිසිවක් සොරාගෙන හෝ අතුරුදහන් වී නැති බව ඔප්පු කිරීමට එම ගබඩාව තුළට ජනමාධ්‍යවේදීන් රැගෙන යාමට 2019දී එවකට සිටි මුදල් ඇමතිවරයා (වත්මන් අගමැතිවරයා) හට සිදුවිය.
 
මේ සම්බන්ධයෙන් යම්කිසි දුර දකින නුවණක් තිබුණේ නම් මෙම මෝටර් රථ මිලට ගැනීම සිදුනොකරනු ඇති බව වත්මන් මුදල් අගමැතිවරයා, එය බරපතල වරදක් බව කියා සිටියි.

මෙම රථපෙළ මේ වන විට පාඩු පිට විකිණීමට නියමිතය. එක් රථයක් ගත් මිලට වඩා 20%කට වඩා අඩු මුදලකට (ඩොලර් 114,000 ක් පමණ) විකිණෙනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
පැපුවා නිව් ගිනියාව යනු APEC එකතුවේ වැඩිම දරිද්‍රතාවෙන් පෙළෙන රටවල් අතරින් එකකි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top