Nov 02, 2021

අත්‍යවශ්‍ය භාණ්ඩ සංචිතයක් තබාගන්නැයි චීන වැසියන්ට නිවේදනයක්

හදිසි අවස්ථාවකට මුහුණ දීමට හැකිවෙන ලෙසින් අත්‍යවශ්‍ය භාණ්ඩ සංචිතයක් පවත්වාගෙන යන මෙන් චීන බලධාරීන් එරට ජනයා හට පවසා ඇතැයි වාර්තා වේ.

මේ බව එරට වාණිජ අමාත්‍යංශ්‍ය විසින් ඊයේ (01) පස්වරුවේදී පවසා ඇති අතර, මෙම සමග බොහෝදෙනා භාණ්ඩ රැස්කරගැනීමට පෙළඹී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම නිවේදනයත් සමග ඊට හේතුව පිළිබඳව විවිධ මතද චීන සමාජ ජාල ඔස්සේ පැතිර තිබුණු අතර, ආහාරපාන සැපයුම් ගැටළු, විවිධ ප්‍රදේශවලින් මතුවන කොවිඩ්-19 ආසාදිතයන් හා තායිවාන් ගැටළුව මෙම නිවේදනයට හේතුවී ඇතැයි මත පළ වී තිබුණු බව චීනයේ 'ග්ලෝබල් ටයිම්ස්' පුවත් සේවය කියා සිටියි.

මේ අතර, චීනයේ කොමියුනිස්ට් පක්ෂයට සහය දනවන 'දි ඉකොනොමික් ඩේලි' පුවත්පත මහජනතාවගෙන් ඉල්ලා ඇත්තේ අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසයි.

වත්මන් කොවිඩ්-19 තත්ත්වය හමුවේ හදිසියේ ලොක්ඩවුන් කිරීමක් නිවේදනය කිරීමට බලධාරීන් හට සිදුවුවහොත් එවැනි අවස්ථාවකට ජනතාව සූදානම් කරවීමේ අරමුණෙන් මෙම නිවේදනය සිදුකළ බව එහි වැඩිදුරටත් දැක්වේ.

චීනයේ 'පීපල්ස් ඩේලි' පුවත්පතද වාර්තා කර තිබුනේ මෙවැනි නිවේදනයක් සිදුකිරීම අමුත්තක් නොවන බවයි. ශීත සමයේදී සාමාන්‍යයෙන් චීනයේ බඩුමිල තරමක් ඉහළ ගියද, අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය සති කිහිපයේදී එරට එළවළු මිල ඉහළ ගොස් තිබුණි. ඒ අනුව, මෙම නිවේදනය සිදුකර ඇත්තේ ඉහළ ගොස් ඇති එළවළු මිලත් පවතින කොවිඩ්-19 තත්ත්වයත් හේතුකොට ගෙන බව එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top