May 02, 2022

කොවිඩ් එන්නත ගහන්න බල කරන්න බෑ - ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය Featured

කොවිඩ් එන්නත ලබාගැනීමට කිසිවෙකුට බල කිරීමට නොහැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) තීන්දු කර තිබේ.

"ශරීරය පිළිබඳ අයිතිය, නීති යටතේ ආරක්ෂා කර ඇති බවත් එන්නත් කිරීම කිසිවෙකුට බලහත්කාරයෙන් සිදුකළ නොහැකි බවත්," ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇත.

කෙසේවෙතත්, ප්‍රජා සෞඛ්‍යය පිළිබඳව සලකා බලා "පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ යම් සීමාවන්" පැනවිය හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් පවසා තිබේ.

COVID-19 වැළැක්වීමේ වෙනත් හැසිරීම් සම්බන්ධයෙන් හැර, ආසාදිතයන් ගණන අඩු නම්, එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයන් හට පොදු ස්ථාන වලට යාමට හෝ සේවා හා සම්පත් ලබාගැනීම වළක්වන ක්‍රමවේද නොගත යුතු බවටද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇත.

එවැනි නීති ඇති නම් ඒවා වහා ඉවත් කරගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. මේ වන විටත්, ඇතැම් ඉන්දීය ප්‍රාන්ත වල එවැනි නීති පනවා තිබෙන අතර, රජයේ සේවකයන් හට, පොදු ප්‍රවාහන සේවා ලබාගැනීමට හා ආහාර ධාන්‍ය සහන ලබාගැනීමට එන්නත්කරණය අනිවාර්ය කොට ඇත.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර ඇත්තේ මෙම නියෝග COVID-19 වැළැක්වීමේ හැසිරීම් වලට අදාල නොවන බවත්, එන්නත්කරණයට සීමා වන බවත්ය.

තවද, එන්නත්කරණයේ අතුරු ප්‍රථිපල සම්බන්ධයෙන්ද කරුණු රැස් කර මහජනයා හට එම තොරතුරු ලබාගත හැකි බව ක්‍රමවේදයකට අනුව වාර්තා පළ කරන මෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මධ්‍යම ආණ්ඩුවට නියෝග කර ඇත.

(ඉන්දීය මාධ්‍ය ඇසුරෙන්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top