May 21, 2022

ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය විපක්ෂයට!

වසර 202 ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයෙන් ජය ගැනීමට මෙතෙක් එරට විපක්ෂය ලෙස කටයුතු කල ලේබර් පක්ෂය සමත්ව තිබේ.

ඔවුන් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන බහුතරය අත්කරගැනීමට සමත්ව සිටින අතර ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ලේබර් පක්ෂයේ රජයක් බිහිවන්නේ වසර 09 කට පසුව වීම ද විශේෂිතය

මේ අනුව 2013 වසරේ සිට පැවති ලිබරල් පාලනය නිමාවට පවත්වේ.

එසේම අගමැති ස්කොට් මොරිසන්ට අගමැති ධුරයද අහිමිවී ඇත.

ලේබර් පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් මීළඟ අගමැතිවරයා ලෙස දිවුරුම්දීමටද නියමිතය.

ඡන්ද දායකයන් මිලියන 17 ක් සුදුසුකම් ලබා සිටි ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය එරට වේලාවෙන් අද පෙරවරු 08 ට ආරම්භවී පස්වරු 06 ට අවසන් විය.

ආර්ථීකය – උද්ධමනය – සංක්‍රමණ ගැටලු සහ දේශගුණ විපර්යාස ආදී කරුණු මෙවර ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබිණි.

ශ්‍රී ලංකාවට මෙවර ඕස්ට්‍රේලියා මහ මැතිවරණය වැදගත් වූයේ ලාංකික සම්භවයක් සහිත අපේක්ෂකයන් 02 දෙනෙකු සහ අපේක්ෂිකාවක තරග වැදීම හේතුවෙනි.

එයින් මෙල්බන් හි හෝල්ට් ආසනය සඳහා තරග වැදුණු ශ්‍රී ලාංකික රන්ජ් පෙරේරා පරාජයට පත් කරමින් පෙරමුණ ගැනීමට තවත් ලාංකික සම්භවයක් සහිත කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු සමත්වීම විශේෂත්වයකි.

පැවති ලිබරල් රජයේ ආරක්ෂක – මුදල් ඇතුලු අමාත්‍යවරුන් විශාල පිරිසක් මෙවර පසුබා සිටීම එරට ඡන්ද ප්‍රතිඵලයේ විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය කියා සිටී.

අගමැති මොරිසන් ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත්වෙයි!

මේ අතර, මැතිවරණ පරාජයත් සමග ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් තීරණය කර තිබේ.

පක්ෂයේ මීලග හමුවේදී තමා එය නිල වශයෙන් දන්වා සිටින බව ඔහු සිඩ්නි හිදී පක්ෂ ක්‍රියාකාරීන් අමතමින් පවසා ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේවෙතත් මීලග නායකත්වය කවරෙකුට පැවරෙන්නේ දැයි අගමැති මොරිසන් කිසිවක් අනාවරණය කර නොමැත.

මැතිවරණ පරාජයේ පූර්ණ වගකීම තමන් භාරගන්නා බවද ඔහු අවධාරණය කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top