May 31, 2017

පුංචි දියකිඳුරිය රතු වෙයි! (වීඩියෝ)

ඩෙන්මාර්කයේ සංකේතයක් ලෙස සැලකෙන කොපන්හේගන් අගනුවර පිහිටි ජනප්‍රියතම ස්ථානයක් වූ පුංචි දියකිඳුරිය ගේ ප්‍රතිමාව රතු පැහැ තීන්ත වලින් වර්ණගල්වා ඇතැයි වාර්තා වේ.

තල්මසුන් මැරීමට එරෙහිව සිදුකළ විරෝධාවක් ලෙස මෙම ක්‍රියාව සිදුකර තිබේ.

ප්‍රතිමාවට පහතින් ඉංග්‍රීසි බසින් සඳහන් කර තිබුණේ ෆැරෝ දූපත් වල තල්මසුන් බේරාගැනීමට ඩෙන්මාර්කය කටයුතු කළ යුතු බවයි.

සෑම වසරකදීම පයිලට් තල්මස් විශේෂයට අයත් සතුන් රංචු වෙරළ දක්වා පන්නාගෙන විත් මරා දැමීමට ෆැරෝ දූපත් වල බලධාරීන් ගේ අවසර ඇත. මෙය, 16 වැනි සියවසේ සිට පැවතගෙන එන පුරුද්දක් බව ද විදෙස් වාර්තා වල දැක්වේ. පයිලට් තල්මස් විශේෂය වඳවී යාමේ තර්ජනයට මුහුණු පා නැති විශේෂයක් බවද ඔවුන් කියා සිටියි.

කෙසේවෙතත්, මෙම රතු තීන්ත ඉවත්කර ප්‍රතිමාව පිරිසිදු කිරීමට මේ වන විට කොපන්හේගන් බලධාරීන් කටයුතු කර තිබේ.

ඩෙන්මාර්කයේ සුප්‍රකට සාහිත්‍යවේදියෙකු වූ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් හට ගරුකිරීමක් වශයෙන් එරට ප්‍රතිමා නිර්මාණ ශිල්පියෙකු වන එඩ්වාඩ් එරික්සන් විසින් මෙම ප්‍රතිමාව නිර්මාණය කර තිබේ. වසර 1913 සිට කොපන්හේගන් වරාය පිවිසුමේ ඇති ගල්තලාවක පිහිටි මෙම ප්‍රතිමාව මීට පෙරද විවිධ පුද්ගලයන් ගේ හානිකර ක්‍රියාවලට ගොදුරු වී ඇත.

(වීඩියෝ : USA Today Network)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top